15
ඇහැළියගොඩ ශ්‍රීලපොපෙ ආසන බල මණ්ඩල රැස්වීමේදී ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි කියයි
පොදුජන ජීවිත නඟාසිටුවූ බහුතර ජන වරමක් සහිත ආණ්ඩුවක් කුමන්ත්‍රණවලින් පරාජය කළ ද එම දැවැන්ත ජනතා බලවේගය ගමින් ගමට, දොරින් දොරට ගොස් යළි ශක්තිමත්ව ගොඩනඟන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික, වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ ඇහැළියගොඩ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි සක්‍රිය කිරීමේ “දසබල සේනාව” වැඩසටහනට සමගාමීව පැවැති මෙම බල මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇහැළියගොඩ සංවිධායක අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සංවිධානය කර තිබිණ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, අතිවිශාල ජනවරමක් සහිත පාලනය යළි ආපස්සට හැරවීම අසීරු බව තේරුම්ගත් විපක්ෂ කණ්ඩායම් විවිධ උපක්‍රම සොයමින් සිටි බවයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය විනාශ කිරීමෙන් ආණ්ඩුව බිඳ දැමිය හැකි බව තේරුම්ගත් විපක්ෂය ඒ සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් කළ බව ද වන්නිආරච්චි මහත්මිය කීවාය. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රටට සංචාරකයන් පැමිණීම මුළුමනින්ම නතර වී තිබූ බවත් එයින් විදේශ විනිමය විශාල වශයෙන් රටට අහිමි වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාර ගත්තේ බිඳවැටුණු ආර්ථිකයක් සහිත රටක් බව ද කියා සිටියාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,
ජනතාවගේත් රටේත් අවාසනාවට කෝවිඩ් – 19 වයිරස වසන්ගතය පැතිරීම හමුවේ රට තවත් ව්‍යාකූල තත්ත්වයකට ඇදවැටුණා. කෝවිඩ් වසංගතය හමුවේ බටහිර රටවල් මිනිස්සුන්ගේ ජීවිත මැරෙන්න හැර තිබියදී, වගකිව යුතු රජයක් ලෙස ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමයි. ඒ අනුව රට වසා දැමීමට පියවර ගත්තා.
රට වසා දැමීමෙන් විදේශ විනිමය අඩු වුණා. එයින් රටේ මූල්‍ය ස්ථාවරත්වයට එල්ල වුණේ මරු පහරක්. ඒ අතරතුර ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. ඇතැම් දේශපාලන කණ්ඩායම් රටේ ව්‍යාජ ආර්ථික අර්බුදයක් නිර්මාණය කළා. ඒ කුමන්ත්‍රණය පිටුපස බටහිර රටවල් සහ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සිටියා. බටහිර රටවලින් මුදල් ආව, ජාත්‍යන්තරයෙන් මුදල් ආව, ඩයස් පෝරාවෙන් මුදල් ආවා. ආණ්ඩුව ගෙදර යැවීමේ කුමන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක වී තිබුණා.
ඇතැම් නායකයන් විදේශ රටවල සේවය කරන අපේ තරුණ තරුණියන්ට කිව්වා රටට සල්ලි එවන්න එපා කියල. අපේ තරුණ තරුණියෝ ඒකට රැවටුණා. රට වැටෙන්න ඇරියා. එහෙමයි, මේ කුමන්ත්‍රණය දියත් වුණේ.
ඒත් පොඩි මිනිසා ශක්තිමත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනැඟීම සඳහා රටට ආදරය කරන සියලු බලවේග ගෙයින් ගෙට, ගොස් දොරින් දොරට ගොස් මහ පොළොවේ යථාර්ථය ජනතාවට පසක් කර දිය යුතුයි.
බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ශක්තිමත් විය යුතු බවයි. ඒ සඳහා “දසබල සේනාව” වැඩසටහන යටතේ දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇතිබවද හෙතෙම කීය. ඇතැමුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රශ්න කරනවා. සජබ සහ ජෙවිපිය කියන විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද පදනමක් නැති නම්, ජනප්‍රියත්වයක් නැති නම්, ඒ වගේ ම පොහොට්ටුව ඔවුන් ට අභියෝගයක් නොවේනම් එලෙස ජනාධිපති අපේක්ෂකයා ගැන වද වීමට අවශ්‍ය නොමැති බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, ඇතුළු මහජන නියෝජිතයන් හා ඇහැළියගොඩ ප්‍රදේශයේ පොදුජන පෙරමුණු ක්‍රියාකාරී නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ.