මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි කාන්තාවකගේ රන් මාලයක්, පෙන්ඩන්ට් එකක් සහිත රන් මාලයක් සහ රන් මුදුවක් රෝහලේ වැඩ කරන සේවකයෙකු ලෙස පෙනී සිටි තරුණයෙකු සොරා ගෙන ඇතැයි මොණරාගල රෝහල් පොලිසිය පවසයි.
දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාර්තු 6 වන දා බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබේ.
එහිදී ඇය බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, බෙහෙත් නියම කොට සුවනොවුණහොත් ස්කෑන් පරීක්ෂණයක් කිරීම සඳහා නැවත පැමිණෙන ලෙස ය.
එය අසා සිටි යුරෝපීය ඇඳුමකින් සැරසී සිටි තරුණයෙකු ඇය ස්කෑන් පරීක්ෂණය සිදුකිරීම සඳහා රෝහලේ අලුත් ගොඩනැගිල්ලේ පළමුවන මහලට කැඳවාගෙන ගොස් තිබේ.
එහිදී, එම තරුණයා ඇයට සඳහන් කර ඇත්තේ, ස්කෑන් පරීක්ෂණය සඳහා පැළඳ සිටින රන්මාලය සහ මුද්ද ගලවන ලෙස ය.
පසුව, ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම සඳහා තුන්වන මහලට යන ලෙස අදාළ තරුණයා මෙම කාන්තාවට උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, ඇය රන්මාලය සහ මුද්ද ගලවා ඇයගේ මුදල් පසුම්බියේ දමා එය වාට්ටුවේ අල්මාරියක් අසල තබා උඩු මහලට ගොස් තිබේ.
කාන්තාව උඩුමහලට ගොස් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ස්ථානයක් නොමැති බැවින් ආපසු පැමිණ බලන විටදී ඇයගේ මුදල් පසුම්බියේ තබා ගිය රන් ආභරණ නොමැති බව දැන ගෙන ඒ පිළිබඳව මොනරාගල රෝහල් පොලිසියට දැනුම් දී ඇත.
අනතුරුව, ඇය විසින් මොනරාගල මූලස්ථාන පොලිසිය වෙත ද පැමිණිල්ලක් සිදු කරනු ලැබ තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම කාන්තාවගෙන් සොරා ගත් රන් ආභාරණවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බව ය.
මේ පිළිබඳව මොනරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.