Home Politics News Room : මේ රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන්න ජනපති ඉඩ තබන්නේ...

News Room : මේ රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන්න ජනපති ඉඩ තබන්නේ නෑ – එජාප උප නායක අකිල විරාජ් කාරියවසම්

2
0

රැස්ව සිටි අති විශාල ජනතාවගෙන් කොටසක්

මේ රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පෙරේදා (10) පැවති මහජන රැලිය අමතමිනි. එජාප මැතිවරණ සටන අරඹමින් කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී මේ මහජන රැලිය පැවැත්විණි. රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට කැමති ජනතා හමුව “සැබෑව” තේමාව යටතේ මේ ජන හමුව සංවිධාන කර තිබෙන අතර එම රැලියට අතිවිශාල ජනකායක් එක්ව සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඇමතූ පළමු ජන රැලිය ද මෙය වන අතර ක්‍රීඩාංගණයට එක්ව සිටි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.

අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී මෙසේ ද කීය.

මේ අභියෝගය ජනාධිපතිවරයා මට භාරදුන්න වෙලාවේදි කුලියාපිටියේ තිබෙන ලොකුම ක්‍රීඩා පිටිය මම තෝරාගත්තා. කුලියාපිටියට පැමිණි වැඩිම ජන ගඟ අද මෙහි පැමිණ සිටිනවා. මේ ජනතාව පැමිණියේ ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළ ගැන විශ්වාස තබායි.

2019 දී කඩාවැටුණු මෙරට ආර්ථිකය නැවත කඩා වැටෙන්න ජනාධිපතිවරයා ඉඩ තබන්නේ නැහැ. රට ලෙඩෙක් කරලා අසාධ්‍ය වූවායින් පසුව දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබියදී යළි බේරාගත් නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතායි. මේ රට සංවර්ධනය කරා රැගෙන ගොස් ණය බරින් මුදාලිය හැකි එකම නායකයා ද එතුමායි. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට බාධා කරනවා කියන්නේ රටේ දියුණුවට කරන බාධා කිරීමක්. එජාපය බලයෙන් ඉවත් වූ සෑම අවස්ථාවකදීම රට අර්බුදවලට මුහුණ දුන්නා. නැවත ආර්ථික අර්බුදයක් ඇති වුණොත් රට ගොඩගැනීමේ වගකීම කිසිවෙක් භාර ගන්න එකක් නැහැ. ඊළඟ එන මැතිවරණය කුමක් වුණත් එය ජයගැනීමට කැපවීමෙන් කටයුතු කරනවා.

2022දී ඇවිළුණු ගින්නට පනින්න කිසිවකු හිටියේ නෑ. ජනාධිපතිතුමාගේ වැඩ පිළි‍ෙවල නිසා දැන් රටට සිසිලස එන කාලයයි. ඉදිරියේ දී තවත් සිසිලස දැනේවි.

එජාප නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා-

එජාපයේ ශක්තිය මේ ජනතාවයි. පසුගිය කාලයේ අපේ රට ඉතා අසීරු තැනක තිබුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර නොගත්තා නම් අද රට තිබෙන තැන හිතා ගන්නවත් බැහැ. අප සියලු දෙනාටම ආර්ථික බර දැනෙනවා. තුවාලයකට වුණත් බෙහෙත් දානවිට වේදනාවක් දැනෙනවා. මේ වන විට රටේ ආර්ථිකය නමැති තුවාලය සුවපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බෙහෙත් දමමින් සිටිනවා. ඉදිරියේදී ආර්ථිකය සුවපත් වූ විට මේ ජනතාවට මීට වඩා සහන දිය හැකියි. ග්‍රීසියේ තිබුණ ආර්ථික අර්බුදය අවසන් කරන්න වසර 13ක් ගියා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 2කින් මේ රටේ ආර්ථිකය සුවපත් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න අවශ්‍ය බව විපක්ෂය ඉල්ලා සිටියා. එම ඉල්ලීම ජනාධිපතිවරයා ඉටු කළාට දැන් විපක්ෂය ඒ සාකච්ඡාවලට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඔවුන් දේශපාලන කුහකකමින් ඉන්නවා. ජනාධිපතිවරයා පෝලිම් යුගය නැති කළා. ඒ නිසා කුහක දේශපාලන පක්ෂය විවිධ අවලා ද නඟමින් සිටිනවා. නමුත් රටේ ÒසැබෑවÓ ජනතාවට පෙන්වා දීමට රට පුරා මෙවැනි රැස්වීම් මාලාවක් පැවැත්වීමට කටයුතු කරනවා. එජාපය හැර ගිය අයත් අද නැවත මේ පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට අප සූදානමින් සිටින බව කිව යුතුයි.

එජාපයේ ජාතික සංවිධායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි රැස්වීමකට සහභාගී වෙන්නේ දිගු කාලයකට පසුවයි. රටේ ආර්ථිකය කඩාවැටුණට පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපති ධුරයේ වගකීම භාරගත්තා. එදා රට ආර්ථික අර්බුදයට පත් වුණේ එදා සිටි පාලකයන්ගේ ප්‍රතිපත්ති නිසයි. රජයේ ආදායම් නිසි ආකාරයෙන් එකතු නොකිරීම, එක රැයකින් පොහොර භාවිතය නැවැත්වීම වැනි කරුණු ඒ සඳහා බලපෑවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර ගන්නා විට විදේශ සංචිත ඉතා කුඩා ප්‍රමාණයක් පමණයි තිබුණේ. එයින් ගෑස් ටැංකි ටිකක් පමණයි ගන්න පුළුවන් වුණේ. ඉන්ධන නැවක් ගන්න ඒ මුදල් ප්‍රමාණවත් වුණේ නැහැ.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තාට පසුව තිබුණ විදේශ සබඳතා නිසා ගෑස්, ඉන්ධන මිලදී ගැනීමට හැකි වුණා. ඔබව ජීවත් කරවීමට එතුමා ආර්ථිකය කළමනාකරණය කළා.

2019 රටේ තිබුණ ආර්ථිකය වෙත නැවත මේ වන විට රට පැමිණෙමින් තිබෙනවා. අස්වැසුම හා උරුමය වැඩසටහන් නිසා ඔබට අහිමි දේ ලැබෙමින් තිබෙනවා. අද උතුරේ සංවර්ධනය හා සමඟිය ගොඩනැඟෙමින් තිබෙනවා. ගුවන් හමුදාවට නිලධාරීන් ලෙස බැඳීමට උතුරේ 106 දෙනෙක් ඉල්ලුම් කර තිබෙනවා. සෙසු නිලයන් සඳහා තවත් 156ක් අයැදුම්පත් යොමු කර තිබෙනවා. ආර්ථික කළමනාකරණය හා ජාතික සමඟිය ගොඩනැඟීමෙන් රට උසස් තැනකට ඔසවා තැබිය හැකියි.

එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා- අඳුරු කාල පරිච්ඡේදයක් නිමා කර ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. මෙවැනි රැලි පැවැත්වීමට මීට වසර දෙකකට පෙර හැකියාවක් තිබුණෙ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නිවැරැදි ආර්ථික කළමනාකරණය නිසා අද ජනතාව සුරක්ෂිතව ජීවත් වෙනවා. එක්සත් ජාතික පක්ෂය බලයෙන් ඈත් වූ සෑම අවස්ථාවකදී රට අර්බුදයට පත් වුණා. එදා රට භාර ගන්න කිසිම නායකයෙක් කටයුතු කළේ නැහැ. ඒ අභියෝගය භාරගෙන රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. ජනතාව පෝලිම්වල තෙරපෙමින් කන්න නැතිව හිටපු කාලේ රට ඉන් මුදාගත් විරෝදාර නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒ වගේම අස්වැසුම හා උරුමය වැඩසටහන යටතේ ජනජීවිත ගොඩනැඟීමට කටයුතු කර තිබෙනවා.

එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා- එජාපය ලෝක වාර්තාවක් තැබූ පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා 1994 සිටම මේ රටේ අර්බුද ඉදිරියේ සත්‍ය පවසා මැතිවරණ පරාජය වී තිබෙනවා. 2000 වසර වන විට රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයාට ගත වුණේ වසර දෙකයි.

නමුත් නැවත ජනතාව බොරුවෙන් මුළා කර මඩ ගසා, අවලා ද නඟමින් මැතිවරණය පරාජය කළා. 2015 ජනාධිපතිවරණයට වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ජයගෙන රටේ ආර්ථිකය නඟාසිටුවීමට කටයුතු කළා. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා සඳහන් කර තිබෙන්නේ ඩොලර් බිලියන 300 සොයා නොගතහොත් 2022 වනවිට ආර්ථික අර්බුදයක් ඇතිවෙන බවයි. නමුත් එවක පාලකයන් ඒවා ගණන් ගත්තේ නැහැ.

ලෝක ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුරයක් තියාගෙන අගමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් වූ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඒ නායකයා ඉදිරි ජනාධිපතිවරණයේ දී නැවත ජනාධිපති කළ යුතුයි. රට සුවපත් කළ ඔබේ අයිතිය සුරකින නායකත්වයට ඊළඟ ජනාධිපතිවරණයේ සහාය දෙන්න.

එජාප කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක රවී කරුණානායක මහතා- එක්සත් ජාතික පක්ෂය මේ රටේ පැරැණි පක්ෂයයි. මේ රටේ සංවර්ධනයට අපේ පක්ෂය විශාල ලෙස දායක වී තිබෙනවා. එක මන්ත්‍රී ධුරයක් ලබාගෙන ජනාධිපතිවරයා දක්වා යෑමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුණා .

2022 දී මේ රට පත්වී තිබුණ ආර්ථික අර්බුදය නිසා ඉන්ධන ගෑස් පෝලිම් තිබුණා. ජනතාව හැමදාම කාලය ගත කළේ මහ මඟයි. ඒ ආර්ථිකය සුවපත් කරන්න රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තා. අද වන විට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කර තිබෙනවා.

හැමදාම ශ්‍රී ලංකාව සිහිනවලට තැන දුන්නා. හැටේ දශකයේ හඳෙන් සහල් ගේනවා කිව්වම ඡන්දය දුන්නා. රුපියල් 3.50ට පාන් දෙන්නම් කිව්වම ඡන්දය දුන්නා. අද රටට අවශ්‍ය තරගකාරි ආර්ථික ක්‍රමයක්. ඒ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නැවත රට ආපස්සට තල්ලු කරනවාද, නැතිනම් දියුණුව කරා ගෙන යනවාද කියා ඔබ සිතා බැලිය යුතුයි. ගියවර පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 30ක් නිහඬව සිටියා. ඒ සියලු දෙනා නැවත ඡන්ද පොළට ගෙනැවිත් අනෙකුත් පක්ෂත් එකතු කර ගනිමින් ඉදිරි මැතිවරණ සියල්ල ජයග්‍රහණය කිරීමට පෙළ ගැසෙමු කියා මම ඔබට ආරාධනා කර සිටිනවා. පොදු ජනතා බළමුළු ගැන්වෙමින් එක්සත් ජාතික පක්‍ෂය ඒකරාශි කරගෙන ඇතිවෙමින් පවතින මොහොතක ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතායි.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනූෂ නානායක්කාර මහතා- අද කුලියාපිටියට පැමිණ සිටින ජන ගඟ දෙස බැලු විට ඉදිරි මැතිවරණයේදී නියත වශයෙන්ම එජාපය ජයග්‍රහණය කරන බව පැහැදිලියි.

රට අමාරුවෙ වැටිච්ච වෙලාවේ ඤං පචං ගාලා, කකුල් වෙව්ලන්නේ නැතිව, ආණ්ඩු ගන්න බැරුව, ගෙවල් අස්සේ රිංගගෙන ඉන්නේ නැතිව, උඩ තට්ටුවලට වෙලා, පල්ලෙහාට බහින්නෙ නැතුව කරන්න තියෙන වෙනස කරලා, තමන්ගේ ගේ ගිනි තියද්දි, රට භාරගෙන අද රට මෙතැනට ගෙනත් හුස්ම ගන්න පුළුවන් වෙන තැනට රට ගෙනාව විතරක් නොවෙයි. බංකොලොත් වෙච්ච රට බංකොලොත් නොවන රටක් බවට කියන්න පුළුවන් තැනට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතියි.

එදා බලය භාරගන්නකොට භාර ගන්න බෑ කියලා කකුල් වෙව්ලපු අය, භාරගන්න බෑ කියපු අය, ඒකත් කෙරෙනව නම් මේකත් නොකෙරෙනව නම් ‘නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටුවයි තව එකකුයි ඉල්ලපු’ කයිවාරුකාරයෝ, කයියනායකලා අද කියනවා අපි රට හදන්නම් කියලා. දෙන්න, අපි රට ගොඩ ගන්නම් කියලා. මේක හරියට අන්දරේට ගල් උස්සන්න කිව්වම හීනටි හාලේ බතුයි කළුකුං මසුයි කාලා ගල උස්සලා මගේ කරෙන් තියන්න කිව්වා වගේ. එහෙම ප්‍රායෝගික නැති, අද මාලිමාව කියලා වෙන නම් දාගෙන ආව, 88 – 89 කාලේ අපේ තාත්තලා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන් ඝාතනය කරපු ඒ කණ්ඩායම තමයි මේ නම් වෙනස් කරගෙන ඇවිත් තියෙන්නේ. චන්ද්‍රිකා ජනාධිපතිනිය එක්ක එකතුවෙලා පරිවාස ගැහුවා. 2015දී සිරිසේන ජනාධිපති යටතේ සභාපතිකම් කළා.

නමුත් රට වෙනුවෙන් කළ දෙයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විදේශ ශ්‍රමිකයන්ට මුදල් එවන්න එපා කිව්වා. නමුත් එසේ තිබියදී රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කැපවීම් ප්‍රශංසනීයයි. මේ රටේ නැවත ටෙස්ට් කරන්න අවස්ථාවක් නැහැ. ආර්ථිකය ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති පුටුවට ගෙන ඒමට සහාය දෙන ලෙස මම අපේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ශිරෝමි අබයසිංහ සහ

කුලියාපිටිය මෙවිරු ධනාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here