14
ජනපති සටනේ ඉදිරියෙන් ඉන්නේ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා පැවැසීය.
මන්ත්රීවරයා මේ බැව් කියා සිටියේ පෙරේදා(14) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු අදහස් දක්වමිනි.
එහිදී එස්. බී. දිසානායක මහතා මෙසේ ද පැවැසීය.
‘ඉදිරි ජනාධිපතිවරණ තරගය තිබෙන්නේ සජබයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණයි. ඊට පස්සේ 15%ක් වගේ ගන්න කණ්ඩායමක් ඉන්නවා.
ජනාධිපතිවරණයේ ඡන්ද ගොඩවල් තුනක් තිබෙනවා. ඒකෙනුත් ලොකු ගොඩවල් දෙකයි.එයින් එකක් සජබ. අනික පොහොට්ටුව ගන්නවා.
ඊට අඩු මට්ටමෙන් 15% මට්ටමේ තිබෙන්නේ ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායමට.
ඊළඟට ඉන්නේ සීයට පහට අඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වගේ සුළු පක්ෂ. අන්තිමටම ඉන්නේ සියයට දෙකකට වඩා අඩුවෙන් ඔය අපෙනුත් කඩාගෙන ගිහින් හදාගත්ත පක්ෂවලට සහ අලුතින් හදාගෙන එන පක්ෂවලට. කථානායකට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය පිස්සු විශ්වාසභංගයක්.පොලිස්පති තෝරා පත්කර ගැනීමේ ක්රමවේද සියයට සීයක් නිවැරදියි.
ඒ විශ්වාසභංගය ජයගන්නවා නම් ඉදිරියට තීන්දු තීරණ ගන්න වෙන්නේ එම ක්රමවේදයටම තමයි. ඒ ගැන කිසිඳු තර්කයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ගැන ලියැවුණු පොතේ ලියැවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මුලාවෙච්ච හැටි, රැවටුණු හැටි සහ ඔහු ඇදවට්ටන්න ගෙනාපු කුමන්ත්රණ ගැන තමයි’ යනුවෙන් ඒ මහතා පැවැසීය.
හැටන් රංජිත් රාජපක්ෂ