රුසියානු යුක්රේන යුද්ධයට සහභාගී වී මිය ගිය ශ්‍රී ලාංකික සෙබළුන් 17 දෙනාගේ පවුලේ අය රුසියාවට ගෙන්වා ගෙන එම සාමාජිකයන්ට වන්දි මුදලක් ප්රදානය කිරීමට රුසියානු බලධාරීන් ශ්‍රී ලංකාවට පොරොන්දු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර රුසියාවේ මොස්කව් නුවර සිට ‘මව්බිම’ අමතමින් පැවසීය.
යුද්ධයේදී අතුරුදන් වූ හා තුවාල ලැබූ සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වන්දි මුදල් ලබා දීමට රුසියානු පාර්ශ්වය එකඟ වූ බව ද ඔහු සඳහන් කළේ ය.
ශ්‍රී ලාංකික සෙබළුන් අතරින් ස්වේච්ඡාවෙන් යළි මව්බිමට පැමිණීමට කැමති අය සඳහා ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පාර්ශ්වය රුසියාවෙන් ඉල්ලා ඇති නමුත් වසරක කොන්ත්‍රාත්තුවක් සඳහා ශ්‍රී ලංකා සෙබළුන් රුසියානු හමුදා සමග ගිවිසුම්ගත වී ඇති බැවින් එම ඉල්ලීම ගැන තවදුරට ත් සලකා බැලිය යුතු බව රුසියානු බලධාරීන් ශ්‍රී ලංකා දූත පිරිස වෙත පැවසූ බව දයාසිරි මන්ත්‍රීවරයා කීවේ ය.
කෙසේ වෙතත්, යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකික සෙබළුන් සම්බන්ධයෙන් සෙවීමට රුසියාව හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය හා ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් වෙනුවෙන් යෝජනාවක් ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ බව ත් ඒ සඳහා රුසියාව එකඟතාව පළ කළ බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
රුසියානු හමුදා රෝහල්වලට ගොස් සෙබළුන්ගේ සුව දුක් සොයා බැලීමට රුසියාව ඉඩ නොදුන් බව ත් එහි දැඩි ආරක්ෂක නීති ඇති බව ත් ඔහු කීවේය.
කෙසේ නමුත්, තානාපති කාර්යාල මට්ටමෙන් ඇතැම් සිවිල් රෝහල් වෙත යෑමට එම නිලධාරීන්ට ඉඩ ලැබී තිබූ බව ත් කී මන්ත්‍රීවරයා, සෙබළුන් බේරා ගැනීමට අදාළ සාකච්ඡා දෙරට අතර කමිටු මගින් ඉදිරියේදී සිදුවනු ඇති බව ද පැවසීය.
ශ්‍රී ලංකා සෙබළුන් සම්බන්ධව රුසියාවේ මොස්කව් අගනුවරදී සාකච්ඡා කිරීමට විදේශ කටයුතු රාජ්‍ය ඇමති තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර හා ගාමිණී වලේබොඩ සහභාගි වී ඇති අතර ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් එහි ලේකම් කමල් ගුණරත්න මහතා සහභාගි වී තිබේ.
මේ අතර, යුද්ධයට මැදිවී අතුරුදන්වූවන් 121ක් මරණ 17ක්, තුවාල ලැබූ 72ක් සමඟ පැමිණිලි 464ක් ලැබී ඇති බව හෙතෙම වැඩිදුරට ත් පවසා සිටියේ ය.