22
1982 ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දය පැවැත්විණි. එම වසරේ ඔක්තෝබර් මස 22 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර ආයතනයේ (ලේක්හවුස්) දිනපතා සිංහල පුවත්පත වන අප දිනමිණ පුවත්පත එම ජයග්‍රහණය වාර්තා කළ අයුරු මෙසේ දක්වා සිටිමු.
ජාතිය ඉදිරියට ගෙනයාම සඳහා 1977 දී තමන්ට හිමි වූ විශිෂ්ට ජන වරමටත් වඩා අද්විතීය ජන වරමක් හිමි කර ගනිමින් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
ජනාධිපතිවරණයේ මුල් වටයෙන්ම ජය ගැනීමට අවශ්‍ය වූ ඡන්ද ප්‍රමාණයටත් වඩා ඡන්ද 1,89,737ක් ලබාගත් ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වශයෙන් මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වා මහතා විසින් ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ජනාධිපතිවරණ ආඥා පනතේ විධිවිධාන අනුව අපේක්ෂකයකු මුල් වටයේදීම ජය ලැබීම සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ද හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතු වේ.
මෙම මැතිවරණයේ දී ලැබුණු වලංගු ඡන්ද සංඛ්‍යාව 65,22,147ක් වූ හෙයින් මුල් වටයේදීම ජය ලැබීම සඳහා ජයවර්ධන ජනාධිපතිතුමා විසින් ලබාගත යුතුව තිබුණේ ඡන්ද 32,61,074කි.
ජනාධිපතිතුමා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 34,50,811ක් විය. වලංගු ඡන්ද සංඛ්‍යාව අනුව සැලකෙන විට මෙහි ප්‍රතිශතය සියයට 52.91ක් වේ.
එජාපය 1977දී ලබා ගත්තේ ඡන්ද 31,79, 221කි. ඊට බහු ආසන හතරක්ද ඇතුළත් විය.
දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරෙන් යාපනය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21ම ජනාධිපතිතුමන්ට හිමිවිය. මේවා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් සහිතව දිනා ගැනීමෙන් එතුමාගේ ජයග්‍රහණයෙහි විශිෂ්ටත්වය කැපී පෙනිණි.
ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින කොළඹ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 1,59,814කින් දිනාගත් එතුමා මහනුවර දිස්ත්‍රික්කය දිනා ගත්තේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි ඡන්ද 1,10,974කිනි. ප්‍රථම වතාවට ජනතාවගේ ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පෙරේදා පැවති ඡන්ද විමසීමේ දී ඡන්දය පාවිච්චි කිරීමට වරම් ලබා සිටි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 81,45,015ක් විය.
ඡන්ද විමසීමේ මුල්ම ප්‍රතිඵලය වූ අංක 20 මැතිවරණ දිස්ත්‍රික්කය වන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය ඊයේ අලුයම 6.20ට ප්‍රකාශයට පත්කැරුණු අතර අවසාන වශයෙන් අංක 2 ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වන විට වේලාව පස්වරු 4.45 පමණ විය.
ප්‍රථම ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ජනාධිපතිතුමාගේ වෝඩ් පෙදෙසේ නිවෙසට ගොස් එතුමාට සුභ පැතූහ.
ප්‍රතිඵල නිවේදනය කෙරුණු මධ්‍යස්ථානය වන කොළඹ මහ නගර සභා ශාලාවට ජයවර්ධන ජනාධිපතිතුමාත් සෙසු අපේක්ෂකයන් වන හෙක්ටර් කොබ්බෑකඩුව, කොල්වින් ආර්. ද සිල්වා සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු පෙරේදා රාත්‍රි වරින්වර පැමිණි තොරතුරු පරීක්ෂා කර බැලූහ.