Home Politics News Room : ජනපතිවරණයෙන් සමගි ජන සන්ධානයට නියත ජයක්

News Room : ජනපතිවරණයෙන් සමගි ජන සන්ධානයට නියත ජයක්

0
0

“එක්සත් ජාතික පක්ෂයට පක්ෂ ලකුණින් සහ පක්ෂයේ නමින් ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් අද මතු වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවු ජනාධිපතිවරුන් මැතිවරණවලට ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂ ලකුණින් සහ පක්ෂයේ නමින්.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසුවේය.

“සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය භාර දිය යුතු කාලය පැමිණියත් ඒ අවස්ථාවේ විවිධ කුමන්ත්‍රණ ආරම්භ කරමින් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොදී පරාජය කරන්න විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදී සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කටයුතු කළා.

අද වන විට බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනයේ වල් බිහි වෙලා සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබෙනවා. ඉතිහාසය පුරාම රනිල් වික්‍රමසිංහට විරුද්ධව මත පළ කළ පිරිසක් හිටියා. නමුත් අද එම පිරිස තමා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වෙලා සිටින්නේ.

ඩලස් අලහප්පෙරුම සහ ජී. එල්. පිරිස් මහත්වරුන් ඇතුළු පිරිස පොදු ජන පෙරමුණේ විශාල කාර්යභාරයක් ඉටු කළා. නමුත් මේ කණ්ඩායම සමගි ජන සන්ධානයට එකතු වෙනවා. ඒ එකතු වීම හරහා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් සැබෑ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව තමයි අපි ඉටු කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයා වන දයාසිරි ජයසේකර සමගි ජන සන්ධානය සමඟ එකතු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම සමගි ජන සන්ධානයට එකතු වෙලා අවසන්. ඒ වගේම සුළු ජාතික පක්ෂ රැසක් සමගි ජන සන්ධානය සමඟ එකතු වෙලා අවසන්. ඒ අනුව සමගි ජන සන්ධානය ජනාධිපතිවරණයෙන් නියත ජයක් ලබනවා. ඒ ජයග්‍රහණය ස්ථිරයි.”

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here