37
ජනාධිපතිවරණයේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. දැනටමත් ප්‍රධාන දේශපාලන අපේක්ෂකයන් ඇප තැන්පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙසද ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතාද තරග වැදීමට නියමිතව තිබේ. ඊට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර, නුවන් බෝපගේ වැනි යම් පදනමක් ඇති පිරිස්ද තරගයට එළඹීමට නියමිතව තිබේ. මේ ආකාරයට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ව්‍යවස්ථාව තුළ තිබෙන මූලික කරුණු මොනවාද යන්න සැලකිල්ලට ගත යුතුය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට තරග කළ හැකි පුද්ගලයකු සැපිරිය යුතු මූලික සුදුසුකම් කිහිපයකි. එහි එක් සුදුසුකමක් ලෙස ‘වයස’ ද සැලකිල්ලට ගෙන තිබේ.
l නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ කර සිටිය යුතුය.
l ශ්‍රී ලංකා පුරවැසියකු විය යුතුය.
l ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) වගන්තියට අනුව අවම සුදුසුකම් ඇති අයකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ඔහු හෝ ඇය දැනට මන්ත්‍රීවරයකු නම් හෝ කලින් මන්ත්‍රීවරයකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම ජනාධිපති අපේක්ෂකයකු වීමට ප්‍රධාන නුසුදුසුකම්ද තිබේ. ඒවා මෙසේය.
l දෙවරකට වඩා ජනාධිපති වූවෙකු නොවිය යුතුය.
ඒ අනුව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හට ජනාධිපතිවරණයට නැවත තරග කළ නොහැකිය. එක්වරක් පමණක් තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍යනම් නැවත තරග කළ හැකිය.
l ද්විත්ව පුරවැසියකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකිය.
l සිහිවිකල් වූ අයෙකු යැයි ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කළ තැනැත්තෙකු
l දෝෂාභියෝගයකින් ජනාධිපති පදවියෙන් ඉවත් කළ අයෙකු
l ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුව ප්‍රජා අාශක්නුතාවකට භාජන වූ අයෙකු
l පසුගිය වසර හත ඇතුළත මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකිය.
l නමුත් සිර දඬුවමට යටත්ව සිරගත වී සිටින විට කොන්දේසි විරහිත සමාවක් ලැබූ පුද්ගලයකුට මෙම තහංචිය බලපාන්නේ නැත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත. එහෙත් බොහෝ අය මේ වැරදි අදහස දක්වනු ලබයි. එම මතය බොරු කිරීමට ජනාධිපති අපේක්ෂකවරුම උදාහරණයක් ලෙස පෙන්වා දීමට පුළුවන. 1982 පළමු ජනාධිපතිවරණය සඳහා තරග කළ ජී. ජී. පොන්නම්බලම් මහතා මෑත පැවැති ජනාධිපතිවරණ සඳහා තරග කළ එම්. කේ. සිවාජිලිංගම් මහතා මෙන්ම මෙවර උතුරේ පොදු අපේක්ෂක ලෙස තරග කිරීමට නියමිත අරියනේත්‍රන් මහතාද සිංහල බොදුනුවන් නොවේ. දමිළ හින්දූන් ය. 1999 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂය නියෝජනය කළ අබ්දුල් රසූල් මහතා ඉස්ලාමීය ලබ්ධිකයෙකි. එනිසා සිංහල විය යුතුය යන වැරදි මතය කිසිසේත්ම නිවැරැදි නොවන බව පැහැදිලිය. වලංගු ඡන්දයෙන් 50% ලබා ගැනීමට හැකිනම් මෙරට ව්‍යවස්ථාව අනුව ඕනෑම සුදුසුකම් සපිරූ ශ්‍රී ලාංකියකුට මෙරට ජනාධිපති වීමට බාධාවක් නැත. විවාහකයකු විය යුතු බවට ද එසේ නොමැතිනම් ජනාධිපති අපේක්ෂක ලෙස සුදුසු කම් නොලබන බවට මතයක්ද තිබේ. එයද ව්‍යවස්ථාව තුළ තිබෙන්නක් නොව හිතලුවක් පමණි.
වඩාත් තරුණ වීම හෝ වයස් ගත වීම ජනාධිපති ධුරයට නුසුදුසු කමක් ලෙස ඇතැමුන් කීවද දුර දක්නා නුවණ පාලන හැකියාව, දක්ෂතාව තිබේ නම්, වඩාත් වියපත් හෝ තරුණ අයකුට රටක් පාලනය කිරීමට පුළුවන. එනිසා ජනාධිපති ධුරය ව්‍යවස්ථාව රකිමින් සිය සේවය ඉටු කළ හැකිනම් ඉහත නෛතික කරුණු සපුරා ඇතිනම් කිසිදු බාධාවක් ඇති නොවේ.
උදිත ගුණවර්ධන