Home Politics News Room : ලක්ෂ්මන් කදිරගාමර් 19 වැනි අනුස්මරණය නිමිත්තෙනි

News Room : ලක්ෂ්මන් කදිරගාමර් 19 වැනි අනුස්මරණය නිමිත්තෙනි

0
0

කදිරගාමර් මහතාගේ දේශපාලනයට පිවිසීම සිදුවූයේ 1994 වසරේදීය. එම වසරේ පැවැති මැතිවරණයෙන් එ.ජා.ප.ය. පරාජයට පත්කරමින් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණයට පත්විය. මේ සමඟම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් නව පාර්ලිමේන්තුවක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දැරීමට කදිර්ගාමර් මහතා සමත්විය.

ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ බිහිවූ විශිෂ්ටතම රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස නම් කළ අයකු වේ නම් ඒ ලක්ෂ්මන් කදිරගාමර්ය. හේ උපත ලැබූවේ 1932 අප්‍රේල් 12 වනදා කොළඹදීය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ c.m.s. විද්‍යාලයේ වන අතර සිය ද්විතීයීක අධ්‍යාපනය ලබන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළු විය. එයටද එක් හේතුවක් තිබිණි. මන්ද දෙවන ලෝක යුද සමයේදී ජපන් හමුදාව විසින් කොළඹට ප්‍රහාර එල්ල කරන්නේය යන සැකයයි. මේ නිසා කොළඹ ආසන්නව සිටි ප්‍රභූ පවුල්වල දරුවන් මධ්‍යම පළාතේ පාසල් කරා ඇතුළු කරන්නට ඔවුන් යුහුසුළු විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කරා ඔහු අධ්‍යාපනය ලබන්නට ඇතුළු වූ කාරණාව එය විය.

ත්‍රිත්ව විද්‍යාලය යනු එදවසද ක්‍රීඩාවන් අතින් ඉහළින්ම දක්ෂතා දැක්වූ පාසලක් විය. කදිරගාමර් මහතා ත්‍රිත්වයට ඇතුළත් වීමෙන් පසු රගර් ක්‍රීඩකයකු ලෙස පාසලේ රගර් කණ්ඩායමේ දක්ෂතා දැක්වූ අතර ඊට අමතරව ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින්ද වර්ණ ලබන්නට එහු සමත් විය. ඔහුගේ අධ්‍යාපනික දක්ෂතා කවරේද යත් විද්‍යාලයේ සෑම අංශයකින්ම දක්ෂතා දක්වන ශිෂ්‍යයාට හිමි සම්මානය දිනා ගැන්මට ඔහු සමත් වූ අතර, ශිෂ්‍ය නායකයකු ලෙසින්ද කටයුතු කරන්නට විය. ඔහුගේ උසස් අධ්‍යාපනය ඇරඹෙන්නේ ලංකා සරසවිය හරහා නීතිවේදී උපාධිය ලබා ගැනීමෙන් වන අතර අධිනීතිඥයකු ලෙසින් ඔහු දිවුරුම් දෙනු ලැබුවේ 1955 වසරේදීය. 1956 – 1959 යන වර්ෂයන් කදිරගාමර් මහතාට ඔක්ස්ෆර්ඩ් සරසවියේ දොරගුළු හැරුණු වසර කීපයක් විය. එම සරසවිය සහා ඔහුට ශිෂ්‍යත්වය ලැබුණේ 1955 වසරේ අගභාගයේදීය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ දක්ෂතා අතරට පැමිණි ඔහුට එහි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙසින් පත්වීමට හැකි වූයේ 1959 වසරේදීය. ඒ සභාපතිත්වයට පත්වූ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙසිනි. එම වසරේම ඔහු බැරිස්ටර්වරයකු ලෙසින් ලන්ඩනයේ රාජකාරි කටයුතුවලටද සහභාගි විය.

ලෝකය පිළිගත් නීති ආයතන ගණනාවකම සේවය කිරීමෙන් ඔහුට මහත් පිළිගැනීමක් නන්දෙසින් ලැබිණි. 1990 වසරේදී නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළ කදිරගාමර් මහතා 1991 වසරේදී ජනාධිපති නීතිඥ පදවියට පවා පත්විය. මේ සියල්ල පිටුපස පැවතියේ ඔහු තම යෞවනයේදී ලබාගත් නීති අධ්‍යාපනයයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ 1962 වසරේදීය. 1963 වසරේදී ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වූ Amnes ty International රාජ්‍ය නොවන සංවිධානය හා බැඳී නීති උපදේශනයට යොමුවිය. වියට්නාමයේ බෞද්ධ සංහාරයක් සිදු වන්නේ යැයි යන පසුබිම පරීක්ෂා කිරීමට මෙන්ම ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා තමා නියෝජනය කරන ආයතනයෙහි නියෝජිතයා ලෙස වියට්නාමයට පිටව ගියේ Amnes ty International විදෙස් රටක කළ පළමු විමර්ශනය වූයේද ලෙසිනි.

ඉන් අනතුරුව 1976 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපදේශකයකු ලෙස කටයුතු කළ අතර 1983 වසරේදී කම්කරු සංවිධානයේ ආසියා ෆැසිපික් අධ්‍යක්ෂවරයා ලෙසින් පත්විය. මේ අතර World International Property Organization හි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ අතර 1988 දී යළි ඔහු තම මව්බිමට පැමිණියේය.

දේශපාලනයට පිවිසීම

කදිරගාමර් මහතාගේ දේශපාලනයට පිවිසීම සිදුවූයේ 1994 වසරේදීය. එම වසරේ පැවැති මැතිවරණයෙන් එ.ජා.ප.ය. පරාජයට පත්කරමින් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණයට පත්විය. මේ සමඟම චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් නව පාර්ලිමේන්තුවක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දැරීමට කදිරගාමර් මහතා සමත්විය. ඒ සමඟම චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ විදේශ අමාත්‍යවරයා ලෙසින් ඔහු කටයුතු කරන්නට විය.

මේ සමඟම L.T.T.E ත්‍රස්තවාදී සංවිධානයේ ඝාතන ලැයිස්තුවේ එක් නමක් ලෙසින් කදිරගාමර් මහතාගේ නම සටහන් විය. එයට හේතුව වූයේ ජාත්‍යන්තරය තුළ ඔහු L.T.T.E සංවිධානය හුදෙකලා කිරීමේ කටයුත්තට අත ගසා සිටි බැවිනි. මේ දෑ සමඟින් එම සංවිධානය, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසින් නම් කරනු ලැබීය. 2001 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ විදෙස් කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙසින් කදිරගාමර් මහතා පත්වූ අතර 2004 වසරේදී ඔහුගේ නම අග්‍රාමාත්‍ය ධුරයට නිර්දේශ වූ මුත් පසුව එය වෙනස්විය.

2005 අගෝස්තු 12 වනදා යනු කදිරගාමර් මහතාගේ ජීවිතයේ නැවතුම් තිත තබන්නට L.T.T.E සංවිධානය සමත්වූ දිනයයි. කොළඹ 07 විජේරාම පාරේ තම නි‍ෙවසේදී ස්නයිපර් ප්‍රහාරයකට ඔහු ගොදුරු වූයේ පිහිනුම් තටාකයේ සිට පිටතට පැමිණෙන විටයි. මානව හිතවාදියකු ලෙසින් කා අතරත් ඉමහත් කතාබහට ලක්වූ කදිරගාමර් මහතාගේ ඝාතනය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතු හිඩැස ලෝකයටම පෙන්නුම් කළ අවස්ථාවක් විය. ජාති, ආගම්, භේද නොසලකා මිනිසුන් වෙනුවෙන් හඬක් නැඟූ මිනිසකුගේ අවසානය සිදුවූයේ එසේය.

කෙසේ වෙතත් එවක විදෙස් මාධ්‍ය්‍යන්හි පළවූයේ 2019 ජනවාරි මාසයේදී කදිරගාමර් මහතාගේ ඝාතනයට සම්බන්ධව 39 හැවිරිදි පුද්ගලයකු ජර්මන් පොලිසිය විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

රජිත බස්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here