21
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මකව තිබියදී ජනාධිපතිවරණය ආසන්නයේදී අපේක්ෂකයන් ප්‍රවර්ධනයට විශාල වශයෙන් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඒ ගැන අධ්‍යයනයට ඒකාබද්ධ යන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගෙන් ලිඛිතව ඉල්ලූ බව ජනාධිපති ධුර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අතුරුගිරිය පෝරේ පිහිටි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පෙරේදා (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා එලෙස පැවසීය.
මෙහිදී තවදුරටත් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද කීය. රටේ ක්‍රියාත්මක වන දූෂිත මැතිවරණ ක්‍රමවේදය සහ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කර සාධාරණ මැතිවරණ ක්‍රමයක් මඟින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම පිණිස මා අධිකරණ ඇමැතිවරයාව සිටි සමයේදී මේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මත කරගැනීමට කටයුතු කළා.
එම පනතට අනුව රාජ්‍ය මුදල් විදේශීය රාජ්‍යවල හෝ ජාත්‍යන්තර සංවිධානවල මුදල් අනන්‍යතාව හෙළි නොකළ තැනැත්තන්ගෙන් ලැබෙන මුදල් පරිත්‍යාග ඇතුළු සියලුම අපේක්ෂකයන්ගේ මැතිවරණය සඳහා කරනු ලබන වියදම් ගිණුම් ප්‍රකාශයක් මඟින් දිවුරුම් ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. එම නීති කඩ කළ අපේක්ෂකයකු ජයග්‍රහණය කළොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අධිකරණයට බලය තිබෙනවා. ජනාධිපතිවරණය ආසන්නයේ පැවතිය දී අපේක්ෂකයන් ප්‍රවර්ධනයට මහජන මුදල් සහ රාජ්‍ය දේපළ ඉතා අවිචාරවත් ලෙස යොදා ගන්නා ආකාරය ගැන නිරීක්ෂණය කරන ඕනෑම අයකුට දැක ගත හැකියි.මේ මුදල් නීති විරෝධී ලෙස උපයා ඇති විශාල ධනස්කන්ධයක් වියදම් කරන බවට ප්රකටව පවතිනවා.
ඒ නිසා අදාළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා මැතිවරණ කොමිසම මැතිවරණ නිරීක්ෂණ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන ද සහභාගි කරවාගෙන ඒකාබද්ධ යන්ත්‍රණයක් මඟින් ක්‍රියාත්මක කරන ලෙසද මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගෙන් මා ලිඛිත ඉල්ලීමක් කළා.
මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි