35
පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නැවත තීරණ ගැනීමට ගියොත් රට නැවත වතාවක් විනාශ වන බවත් ඒ හේතුවෙන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් මේ රට අමාරුවේ දැමීමට කටයුතු නොකරන ලෙසත් එජාප සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය පරිදි පැවති විශේෂ ඒකාබද්ධ රැස්වීම් මාලාවට සහභාගි වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්කයේ නියෝජිතයන් දැනුම්වත් කිරීම වෙනුවෙන් මේ හමුවීම් මාලාව සංවිධානය කර තිබූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම,බෙන්තර ඇල්පිටිය,කරන්දෙණිය, බළපිටිය,රත්ගම සහ අම්බලන්ගොඩ ආසන කේන්ද්‍ර කර ගනිමින් පෙරේදා මේ රැස්වීම් පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් එජාප සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
“ලංකාවේ දේශපාලන පක්ෂ අසූ හයක් පමණ තිබෙනවා. ඉන් 30කට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.මේ බොහොමයක් ඉදිරි සතියේ ජනාධිපතිට සහායදීම සඳහා සන්ධානගත වීමට නියමිතයි. ඒ නිසා ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ දිහාවට හැරෙන සතියක් වේවි.
අපි අද දකිනවා රටේ ජනතාව ඡන්දය ගැන වැඩි කතාබහක් දක්වනවා.ජනතාව විතරක් නෙමෙයි.ජනාධිපතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ පවා මේ වනවිට ජනතා රැස්වීම් තබමින් සිය දේශපාලන කටයුතු ඉදිරියට ගෙනයමින් තිබෙනවා.අපි ඒ ගැන සතුටු වෙනවා.මොකද මීට අවුරුදු දෙකකට කලින් කිසි කෙනෙකුට දේශපාලන රැස්වීම් පවත්වන්න පුළුවන් තත්ත්වයක් රටේ තිබුණේ නැහැ. විපක්ෂ නායකවරයා වගකීම් භාරගන්න බයේ රෝහල්ගත වෙලයි හිටියේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් එදා බයේ පැනලා ගියානම් අද කිසිකෙනකුට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන්න රටක් ඉතිරි වෙන එකක් නැහැ.
අද අපට පේනවා බංග්ලාදේශයේ තත්ත්වය.එවැනිම තත්ත්වයක් අපේ රටේත් ඇති වෙමින් තිබුණා. කොහොම වුණත් ඔබේ වාසනාවට, රටේ වාසනාවට එවැනි තත්ත්වයක් කළමනාකරණය කරන්න පුළුවන් නායකයෙක් අපේ රටේ හිටියා. ඔහු එදා ඇති වෙමින් තිබුණු ප්‍රචණ්ඩකාරී තත්ත්වය මනාව කළමනාකරණය කළා. ඒක මේ රටේ ජනතාව හොඳින් දන්නවා.
මේ රටේ ජනතාවට නැවත කිසි දිනක එවැනි තත්ත්වයක් දකින්න වුවමනා නැහැ. අපි අද ජනතාවත් එක්ක කතා කරනවිට ඒ බව හොඳට පේනවා. අනිත් එක අපේ මේ රැස්වීම්වලට එන්නේ එජාප පාක්ෂිකයන්වත්, පොහොට්ටු පාක්ෂිකයන්වත් නෙමෙයි.
අපේ මේ රැස්වීම් සඳහා සියලු දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් පිරිස පැමිණෙනවා.” කර්මාන්ත සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ,පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ,හිටපු රාජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුන් ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරිය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
නෙත්මි පූජනී රත්නායක