Home Politics News Room : ජනපති සටනට සහය දුන් හැටි

News Room : ජනපති සටනට සහය දුන් හැටි

0
0

ලාංකේය දේශපාලන ඉතිහාසයේ දෙවැනි ජනාධිපතිවරණය පැවැත්වූවේ 1988 දෙසැම්බර් 19 වැනිදාය. මෙහි විශේෂත්වය වූයේ 1982 පැවැති ජනාධිපතිවරණයට වඩා හරි අඩක් අඩුවෙන් 1988 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් වීමය. 1982 මැතිවරණයේදී අපේක්ෂකයන් හයදෙනෙක් ඉදිරිපත් වුවද 1988 මැතිවරණයේදී ඉදිරිපත් වූයේ අපේක්ෂකයන් තිදෙනෙක් පමණි. ඒ ආකාරයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිදෙනා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ මහජන පක්ෂය වෙනුවෙන් ඔසී අබේගුණසේකරය. එවර ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයන් 93,75,742ක් ලියාපදිංචිව සිටි අතර, ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 8070ක් පිහිටුවා තිබිණි. ජනපති අපේක්ෂකයන් තිදෙනෙක් පමණක් ජනපතිවරණය වෙනුවෙන් පෙනී සිටිය ද ඔවුන් වටා විවිධ පක්ෂ හා කන්ඩායම් ඒකරාශී වී තිබිණි. ලාංකේය දේශපාලන පිටියේ එවක පටන් පැවතියේ අඩු වැඩි වශයෙන් නොයෙකුත් වෙනස්වීම්වලට ලක්වූ හිතමිතුරුකම්ය.

සෞම්‍ය මූර්ති තොන්ඩමන් යනු රජුන් තනන්නෙකි. කඳුකරයේ බහුතරයක් ඡන්ද පැවතියේ ඔහු අතය. 1988 මැතිවරණයේදී ලංකා වතු කම්කරු සංගමයේ සභාපති ලෙසින් ඔහුගේ ප්‍රමුඛ කැමමැත්ත තිබුණේ එක්සත් ජාතික අපේක්ෂකයා වෙනුවෙනි. ඔහු ප්‍රකාශ කර තිබුනේ එජාප රජය වතු කම්කරුවන් වෙනුවෙන් කළ සේවය කිසිදා අමතක නොකරන හෙයින් වතුකම්කරු ජනතාව රණසිංහ ප්‍රේමදාස වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන බවයි. ඔහු එජාප සහාය ලබාදීමට එක් හේතුවක් ද සඳහන් කර තිබිණි. එනම්, ශ්‍රීලනිපයට වරක් සහාය දැක්වූ මුත් ඔවුන් බලයට පත්වීමෙන් පසු තමන්ටද නොදන්වා ඉන්දියාව සමඟ සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කළ හෙයින් රටට ආදරේ කරන නායකයකු වන රණසිංහ ප්‍රේමදාස මහතා වෙත තම සහාය ලබාදෙන බවයි.

එමෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් නොවූ තවත් එක් පක්ෂයක් වන්නේ මහජන එක්සත් පෙරමුණයි. එවක මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙසින් කටයුතු කරනු ලැබුවේ වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධනයි. එදා තම මතය ප්‍රකාශ කර තිබුණේ “අපි කෙළින්ම මැතිනිට” යනුවෙනි. ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ වසර එකොළහත් පුරා රටේ ජනතාවගේ උරුමයන් විනාශ කළ ආණ්ඩුව පරාජයකොට මැතිනිය ජයග්‍රහණය කරවීමට කටයුතු කරනා බවයි. සියලුම මර්දනකාරී අණපනත් අහෝසි කර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය හමුදාව ආපසු යැවීමටත් ජනතාව ප්‍රාර්ථනා කරන සාමය යළි ලබාගැනීමටත් මැතිනියගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන බව ඔහු 1988 ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මැතිවරණය වර්ජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීරද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඔහු නිකුත් කර තිබූ ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ “ප්‍රෝඩාකාරී මැතිවරණයන්ට තමා සහාය නොදක්වන බවයි”.

ඔහු නිකුත් කරන ලද ප්‍රකාශයේ මේ අයුරින් ද සටහන්ව තිබිණි.

“පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතුව දැන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඇමැති, මන්ත්‍රී බලතලත්, පළාත් සභා මන්ත්‍රී හා ඇමැති බලතලත්, පොලිස් බලතලත්, රාජ්‍ය බලයත්, මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික හමුදාත්, නිල නොවන හමුදාත්, විවිධ නම්වලින් සන්නද්ධ කර ඇති එ.ජා.ප. කණ්ඩායමුත් යොදවා මැතිවරණයේදී හොර ඡන්ද ව්‍යාපාරයත් රාජ්‍ය ත්‍රස්තවාදයත් ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබේ”

“මෙවැනි ජනාධිපතිවරණයකට ජනතාව යළිත් රැවටිය යුතු නැත. රජය විසුරුවා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතමයාට භාරකාර ආණ්ඩුවේ නායකත්වය පවරා ඒ යටතේ ජනතා විමුක්ති පෙරමුණටත් කිසිදු බාධාවකින් තොරව නිදහසේ මැතිවරණයට ඉඩ සලසන යුක්තිගරුක, සාධාරණ ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් පමණක් පිළිගන්නා ලෙස අපි සමස්ත දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිමු” යනුවෙනි.

එසේම මේ ආකාරයට එදවස වඩාත් කතාබහට ලක් වූ ද්‍රවිඩ දේශපාලන නායකයකු වන්නේ කුමාර් පොන්නම්බලම්ය. ඔහු සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ අතර, ඔහුගේ මතය වූයේ තමා හා තම පිල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහාය දීමටයි. ඒ අනුව ඔවුන් සහාය දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. මීට පෙර ඔවුන් විසින් ශ්‍රීලනිපයට පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රීලනිපය සමඟ පැවැත්වූ මාසයක පමණ සාකච්ඡාවකින් පසු ඔහු මෙම තීරණය ගෙන තිබිණි. නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න තම සහාය පළ කරනු ලැබුවේ මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකරටයි. ඔහු ප්‍රකාශ කර සිටියේ ඡන්ද මගඩිවලින් ජයග්‍රහණය කිරීමට ආණ්ඩුව සූදානම්ව ඇති බවයි. එමෙන්ම ඔහු සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනු ලබන ඡන්ද වැළැක්වීමේ ව්‍යාපාරයෙන් සිදු වන්නේ එ.ජා.ප.යට වාසි සැලසීමක් බවයි. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වූයේ ශ්‍රීලනිපයේ අමනෝඥ වැඩපිළිවෙළ නිසා බවද ඔහු සඳහන් කර සිටියේය. එමෙන්ම ඔහු එහිදී තවත් වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. එනම්, මැතිනිය විසින් ජ.වි.පෙ.ට විරුද්ධ බවත් එ.ජා.ප. මිලිටරි පාලනයට විරුද්ධ බවත් ප්‍රකාශ කළහොත් පමණක් ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය ලබාදීමට තම පාක්ෂිකයන් සූදානම් බවයි.

ලංකා සමසමාජ පක්ෂයේ සහාය 1988 ජනාධිපතිවරණයේදී ලැබී තිබුණේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර වෙතයි. රට තුළ පවතින බැරෑරුම් ප්‍රශ්න කිසිවකටත් විසඳුම් ලබාදීමට එජාපයටත් ශ්‍රීලනිපයටත් හැකියාවක් නොමැති බව සඳහන් කර සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බර්නාඩ් සොයිසාය. ශ්‍රී ලංකා මහජන පක්ෂය, එක්සත් සමාජවාදී පෙරමුණට අයත් සහෝදර පක්ෂයක් වන බැවින් ඔසී අබේගුණසේකරට සහාය පළ කරන මෙන් සියලුම ප්‍රගතිශීලි බලවේගයන්ගෙන් ලංකා සමසමාජ පක්ෂය ඉල්ලා සිටියේය.

ප්ලොට් සංවිධානය සඳහන් කර සිටියේ තමා එක්ව ඇත්තේ පක්ෂ 7ක් එක්වී සකස් කර තිබෙන සාම ගිවිසුම සමඟ බවයි. ප්ලොට් සංවිධානයේ සිවරාම් මෙසේ සඳහන් කරමින් ප්‍රකාශ කර සිටියේ ගැටලුව ඇත්තේ සහයෝගය දෙන්නේ කාටද යන්න මත නොව, ජාතික ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න මත බවයි.

කොයිහැටි වෙතත් කවුරුන්, කවර අයුරු ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත ඡන්දය පළ කළ ද ඉන් ජයග්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස, ඔහු ඡන්ද 2,569,199ක් ලබාගනිමින් 50.43% ක ප්‍රතිශතයක් ලබාගත් අතර, සිරිමාවෝ බණ්ඩාරනායක ඡන්ද 2,289,860ක් ලබාගනිමින් 44.95%ක ප්‍රතිශතයක් ලබාගත්තාය. ඔසී අබේගුණසේකර 4.63% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඡන්ද 235,219ක් ලබාගැනීමට සමත්විය.

රජිත බස්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here