1
තමන්ට අනුප්‍රාප්තික කෑලි අවශ්‍ය නොවන බවත් බලයට පැමිණෙන්නේ ජනතා ආශීර්වාදයෙන් පමණක් බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ(12) ගාල්ලේ ඇල්පිටියේ පැවති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.
රජයට, ගොවියාට අවශ්‍ය සහනාධාර දෙන්න බැරි වුවද සැණකෙළි පවත්වන බවත් එවැනි සැණකෙළිවලින්, බොරු උත්සවවලින් වැඩක් නොවන නිසා බිම් මට්ටමින් සංවර්ධන වැඩ ක්‍රියාත්මක කළ යුතු බවත් ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
අනුප්‍රාප්තික කියන කොටසක් තමාගේ නම ඉදිරිපිට දමා ගැනීමට තමාගේ කිසිම කැමැත්තක් නැති බවත් පොදු ජනතාවගේ ආශීර්වාදයෙන්, ශක්තියෙන් ජනතාවගේ ජනාධිපතිවරයා වීම තමාගේ කැමැත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පක්ෂ භේදයෙන් තොරව ඉතිහාසයේ දැවැන්තම ජන පවුර බිහි කර ජනතාව දිනවන මේ ගමන ගෙන යන බවත් සත්‍යවාදී, යථාර්ථවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා කීය.
ජනතාවට සවන් නොදී, ජනතාවගේ මතයට ඉඩක් නොදී බලහත්කාරයෙන් තනතුරුවල රැඳී ඉන්න පාලකයන් උත්සාහ කරන බවත් තවත් පිරිසක් ඊර්ෂ්‍යාව, වෛරය කුහකකම් තමන්ගේ ප්රමුඛ දේශපාලන වැඩපිළිවෙළ ලෙස නිර්මාණය කර ගෙන රට තවදුරටත් විනාශ කිරීමට උත්සාහ දරන බවත් එළඹෙන ජනාධිපතිවරණයේ දී ජය ගෙන ජනසවියෙන් ජන බලයෙන් ජනතා ආශීර්වාදයෙන් දුක නිවාලන යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට සංවර්ධනය කරන්න පුළුවන් ද කියා සමහර අය ප්‍රශ්න කරන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා රටේ යුද්ධ දෙකක් ඇති විට ඇඟලුම් කම්හල් 200ක ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් ඒ ආකාරයට රට සංවර්ධනය කළ හැකි බවත් එහිදී පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ නව ව්‍යාපාර මිලියනයක් ඇති කිරීමත් සුහුරු තාක්ෂණය අධ්‍යාපනයට, කර්මාන්තවලට ලබා දෙන බවත්ය.
තාක්ෂණික දියුණුවෙන් ඉදිරියට යන රටවල් අතර දකුණු කොරියාව,අමෙරිකාව, තායිවානය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය ආදී රටවල් විශාල ගණනාවක් ශ්‍රේණිගත කළත් ඒ ලැයිස්තුවේ ලංකාව නැති බවත් නව තාක්ෂණය මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට ලබා දී අප රටත් මේ ශ්‍රේණිගත කිරීමට යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
උපාලි කරුණාරත්න,
රක්ෂණ ශ්‍රියන්ත සහ
බෙන්තොට එස්.මධ්‍ය විතාන