28
සියයට පහකවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය ජනාධිපතිවරණයට තරග කිරීම ජාතික අපරාධයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් ජනාධිපතිවරණයක දී තරග කරන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට 5%කවත් ඡන්ද පදනමක් නැත්නම් ඇප මුදල ලක්ෂ 25ක් දක්වාවත් වැඩි කළ යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (11) අම්බලන්තොට එජාප ක්‍රියාකාරීන් පිරිසක් විසින් සංවිධාන කර තිබූ රැස්වීමකට සහභාගි වෙමිනි. එහිදී ඇමැතිවරයා මේ අදහස් ද පළ කළේය.
‘මෙවර ජනාධිපතිවරණයට තරග කරන පිරිස ඉහළ ගිහින් තිබෙනවා. නමුත් ප්‍රධාන අපේක්ෂකයන් දෙතුන් දෙනා හැරෙන්නට අනෙක් අපේක්ෂකයන්ට අඩුම තරමින් සියයට දෙකකවත් ඡන්ද පදනමක් නැහැ. සමහරුන්ට තමන්ගේ පවුලේ අයගේ ඡන්දෙවත් ලැබෙන්නේ නැහැ. අවම වශයෙන් සියයට පහකවත් ඡන්ද පදනමක් නැති අය ජනාධිපතිවරණයට තරග කිරීම ජාතික අපරාධයක්. ජනාධිපතිවරණයේ දී තරග කරන අපේක්ෂකයන් විසින් බැඳිය යුතු ඇප මුදල සැලකිය යුතු මට්ටමින් ඉහළ නැංවීම සම්බන්ධව අපි අමාත්‍ය මණ්ඩලය වශයෙනුත් සාකච්ඡා කළා. සියයට 05කවත් ඡන්ද පදනමක් නැති පක්ෂ විසින් ජනාධිපතිවරණයට තරග කිරීම මඟින් සිදුවන සම්පත් නාස්තිය අවම කිරීම සඳහා සාකච්ඡා කළත්, එම නීති සකස් කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති බව පෙනී ගියා. මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කරන පරිදි වැඩිවන හැම අපේක්ෂකයෙක්ම වෙනුවෙන් රුපියල් මිලියන 200ක අමතර මුදලක් වැය කිරීමට රටට සිදුවෙනවා. ඇත්තටම මේ තත්ත්වය ජාතික අපරාධයක්. රටේ මුදල් නිස්කාරණයේ නාස්ති කිරීමක්.
මෙවර ජනාධිපතිවරණයේ දී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයක් ගොඩනඟා තිබෙනවා. අපේ සම්පූර්ණ සහයෝගය අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඉවරයි. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එජාපය හැම දිස්ත්‍රික්කයකම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා. මෙවර ජනාධිපතිවරණයේ දී රට ගොඩදාන වැඩපිළිවෙළක් ගැන කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අනිත් අය ඔක්කොම කරන්නේ අනුන්ගේ අඩුපාඩු කියන එක. අවුරුදු එකහමාරක් තිස්සේ සජබත්, ජවිපෙත් වාදනය කරන එකම තැටිය අහලා දැන් මිනිස්සුන්ට එපා වෙලා. රට හැම අතින්ම ඉදිරියට යැවීමට හැකි නායකත්වයක් ඒ දෙකටම නැහැ.
ඒ වගේම බංග්ලාදේශයේ අරගලකරුවන් කළ දේවල් නිසා අපේ රටේ ජනතාවත් දැන් විශාල බියකින් පසුවෙනවා. මොකද පසුගිය කාලයේ පාර්ලිමේන්තුව ගිනි තියන්න පවා සමහරු කළ උත්සාහය දැන් ඒ අයම කියනවා. ඒ නිසා රට නැවත වරක් ගිනි තියන්න සමහරු උත්සාහ දරන බව පෙනෙනවා. මේ උත්සාහයන් පරාජය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජයග්‍රහණය කිරීමෙන් පමණයි’ යැයි ද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
බුද්ධිකා ඉඹුලාන