32
අපි ඔක්කොම එකතුවෙලා ඉන්නේ එක අරමුණක් වෙනුවෙන්. අපි දේශපාලනය කරන්නේ ඔබට අපට රටට වැඩක් කරන්න. දරුවන්ට අනාගතයක් ඇති කරන්න. එහෙම නැතුව දේශපාලනය කරලා ඔක්කොම අමාරුවේ වැටෙනවා නම්, පෞද්ගලික පරමාර්ථ ඔස්සේ පමණක් යනවා නම්, මේ ප්‍රදේශවලට රටට වැඩක් වෙන්නේ නැත්නම්, අරමුණකින් තොරව මතයක් නැතුව දේශපාලනය කරනවා නම් වැඩක් නැහැ යැයි එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ කටුගම්පල දේශපාලන පක්ෂ එකමුතුවේ සහභාගිත්වයෙන් පන්නල සෙව්වන්දි උත්සව ශාලාවේ පැවති ජන හමුවට සහභාගි වෙමිනි.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙය සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා,
දැන් අපි ඔක්කොටම පොදු මතයක් තියෙනවා. ඒක තමයි මේ රට ඉස්සරහට ගෙන යෑම. අපට මේ රට බංග්ලාදේශයක් වෙන්න දෙන්න බැහැ. දැන් ඒ රට බේරගන්න රනිල් වික්‍රමසිංහ කෙනෙක් හොයනවා. රට ගොඩදාලා ඉස්සරහට ගෙනියන්න නායකයෙක් නැතිවෙලා තියෙනවා.
අපිට නායකයෙක් හිටියා අත්දැකීම් තියෙන. කවුරු මොනවා කිව්වත් මොන කඳවුරුවල හිටියත් එතුමාට ඒ දැක්ම ඒ දර්ශනය ඒ වැඩපිළිවෙළ අවබෝධය තිබුණා තනි ආසනයක් අරගෙන. වසර හතළිහකට වැඩි කාලයක් දේශපාලනය කරලා එතුමා මේ රටට ගෙනාපු බොහෝ දේවල් තිබුණා. මේ රටේ අද මහත්මා දේශපාලනය නැහැ.
අපි හැමෝම එකතු වෙලා ඒක වෙනස් කරන්න ඕන වැඩ කරන දේශපාලනයක්, හොඳ දේශපාලනයක්, ලස්සන දේශපාලනයක් ඇති කරන්න අපි එකතුවෙලා කටයුතු කරන්න ඕන. අද අපි පක්ෂ පාට භේදයකින් තොරව එකට එකතුවෙලා ඉන්නවා. ඒක මේ ප්‍රදේශයට ශක්තියක්. හොඳ දේශපාලනයක් ගේන්න ඕන.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අදහස් දක්වමින් කියා සිටියේ.
ඔය සජබෙට බොහෝ දෙනෙක් ගියේ ඇමැතිකම් බලාපොරොත්තුවෙන්. මම විශ්වාස කරනවා දේශපාලනය විය යුත්තේ ප්‍රතිපත්තිය කියලා. ඉතිහාසය ගැන දැන් කතා කරලා වැඩක් නෑ. මේ රටට හරි ගියොත් අපි ඔක්කොටම හරි යනවා. අපි ඔක්කොටම තියෙනවා වගකීමක් අපේ දරුවන්ට රටක් හදන එක. හුඟ දෙනෙක් දේශපාලනය කියලා කිව්වේ හම්බ කරන එක. මම විශ්වාස කරනවා දේශපාලනය කියන්නේ මුදල් හම්බ කරන වැඩක් නෙවෙයි කියලා.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “අපි විවිධ කඳවුරු නියෝජනය කරපු අය. අනුර ප්‍රියදර්ශන යාපා, චන්දන යාපා අපි හැමෝම වාමාංශික ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරපු අය. අදටත් අපි ඒ වාමාංශික ප්‍රගතිශීලී කඳවුරෙන් ඉවත් වෙලා නැහැ. ඒ කඳවුරේ ඉඳගෙන රට වෙනුවෙන් වගකීමක් ඉටු කරන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ.”
මෙම අවස්ථාවට කටුගම්පළ කලාප සංවිධායකවරුන් වන අසංක පෙරේරා සහ තුෂාර සම්පත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු හිටපු පළාත් සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
පන්නල සමූහ – එච්. ඩී. හේවගේ