27
එල්.ටී.ටී. ඊ. සංවිධානයේ බෝම්බ ප්‍රහාරයට ලක්වූ තොටළඟ වේදිකාව මීට පෙර ඉදිකරන්නට සූදානම්ව පැවතියේ ක්‍රිස්ටි පෙරේරාගේ මූලිකත්වයෙන් කොටහේන මංසන්ධියේදීය. නමුත් ඒ සඳහා පොලිසියේ අවසරය ලැබී නොතිබිණි. එම නිසා සංවිධායකයන්ට තවත් ස්ථානයක් සෙවීමේ කටයුත්ත පැවරිණි.
මැතිවරණ වේදිකාව යනු එදත් අදත් සෑම කලෙකම විශේෂිත වූ මාතෘකාවක් සපයන්නා වූ භූමියකි. එයට කාලපරිච්ඡේදයක් නැත. කවර හෝ මැතිවරණයක් ආසන්න වත්ම එහි උණුසුම වැඩි වීමට සියලු දේශපාලන පක්ෂයන්හි සිදුවන කතිකාවන් බොහෝ සෙයින් ඉවහල් වේ. කෙසේ වෙතත් 1994 ජනාධිපතිවරණය කා අතරත් කතාබහට ලක්වන්නේ ජනාධිපතිවරණ වේදිකාවේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වූ ගාමිණී දිසානායක ඇතුළු එජාපයේ ඉදිරි පෙළ නායකයන් කිහිපදෙනෙකුම ඝාතනයට ලක්වීමයි. ගාමිණී දිසානායක ඇතුළු එජාපයේ නායකයන් මේ ආකාරයට ඝාතනය වූයේ 1994 ඔක්තෝබර් 23 වැනි දින තොටළඟ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලියේදීය.
23 වැනිදා රාත්‍රිය එළඹියේ එජාපයේ ජයග්‍රාහී ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඒ සමඟම දසතින් නැඟෙන රතිඤ්ඤා හඬෙහි ද නිමක් නොවීය. ගාමිණී දිසානායක මහතා වේදිකාව අමතන්නට වූයේ මේ මොහොතේය.
‘ඔබ සැමට සුබ රාත්‍රියක්’
‘ආ, නැහැ මට වැරදුණා. දැන් පාන්දරනේ. ඔබට සුබ උදෑසනක් වේවා’
දෑත් එක්කළ ගාමිණී දිසානායක මහතා මහජනතාවට ආචාර කරන්නට විය. එහෙත් ඒ ගාමිණී දිසානායක මහතාගේ අවසන් සුබ පැතුම යැයි කිසිවකුත් නොසිතන්නට ඇත. ඉන් සුළු මොහොතකට පසු වේදිකාව මත හුන් ගාමිණී දිසානායක ඇතුළු වේදිකාවේ සිටි පිරිස බිම පතිත වූයේ බිහිසුනු පිපුරුම් හඬත් සමඟිනි. ඒ සමඟම තොටළඟ එජාප වේදිකාව පුරා ප්‍රාණය නිරුද්ධ සිරුරු මෙන්ම සුන්බුන් දසත විසිරී යන්නට විය.
නිශ්චිතවම කියන්නේ නම්, ඔක්තෝබර් 23 වැනිදා එජාප වේදිකාව ඉදිකර පැවතියේ උතුරු කොළඹ හා කොළොන්නාව ආසනය වෙන් කරන නාගලම්වීදිය කෙළවරයි. එනම්, තොටළඟයි. කුරිරු එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයෙන් එදින එජාප ජනපති අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක සහ වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිණී විජේසේකර, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, ක්‍රිස්ටි පෙරේරා මෙන්ම නාගරික මන්ත්‍රීවරුන් වූ ශ්‍රීලාල් පෙරේරා, ගුණපාල සිල්වා, විමලරත්න ප්‍රනාන්දු ඇතුළු 60කට අධික පිරිසක් මිය යන්නට වූහ. ඔසී අබේගුණසේකර ද මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය මුත් ඔහු මිය ගියේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
බෝම්බ ප්‍රහාරය සිදුවන විට වේදිකාවේ ඉදිරි පෙළ සිටි ජී. ඇල්මන් පීරිස් සහ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මෙන්ම දොස්තර රාජිත සේනාරත්න ද දිවි ගලවා ගන්නට සමත් විය. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වන විට වේදිකාවේ හුන් සියලු දෙනාම නැඟී සිට ‘හෙළ ජාතික අභිමානේ’ ගීතයට අත්පොළසන් දෙමින් සිටියා යැයි ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු විසින් කලකට පෙර ලියන ලද පුවත්පත් ලිපියක සඳහන්ව තිබිණි. එම ලිපියේ සඳහන්ව ඇති තවත් කරුණුවලට අනුව ඒ මහතාගේ වම් පසින් වීරසිංහ මල්ලිමාරච්චිත්, ඔහුගේ අසුනට වම් පසින් ගාමිණී දිසානායකත්, ගාමිණීට වම් පසින් එවක උතුරු කොළඹ ප්‍රධාන සංවිධායකවරයා වූ ක්‍රිස්ටි පෙරේරාත් අසුන් ගෙන සිට ඇත. ක්‍රිස්ටිට යාබද අසුනේ ඔසී අබේගුණසේකරගේ සහ ජී. එම්. ප්‍රේමචන්ද්‍රගේ ආසන විය.
එල්.ටී.ටී. ඊ. සංවිධානයේ බෝම්බ ප්‍රහාරයට ලක්වූ තොටළඟ වේදිකාව මීට පෙර ඉදිකරන්නට සූදානම්ව පැවතියේ ක්‍රිස්ටි පෙරේරාගේ මූලිකත්වයෙන් කොටහේන මංසන්ධියේදීය. නමුත් ඒ සඳහා පොලිසියේ අවසරය ලැබී නොතිබිණි. එම නිසා සංවිධායකයන්ට තවත් ස්ථානයක් සෙවීමේ කටයුත්ත පැවරිණි. ඉන්පසු ඔවුන්ගේ දෙවන තේරීම වූයේ සෙයින්ස්ථාන් සිනමාශාලාව අසල භූමි භාගයයි. එහෙත් ආරක්ෂිත හේතූන් මත හෝ වෙනත් කරුණක් හේතුවෙන් එම ස්ථානයේ රැස්වීම පැවැත්වීමට ද පොලිසියේ අවසරය නොලැබිණි. එකී හේතූන් නිසා මෙම මැතිවරණ වේදිකාව ඉදිවූයේ උතුරු කොළඹ ආසනයේ කෙළවරක වූ තොටළඟය. මෙම සිදුවීම උතුරු කොළඹ ප්‍රධාන සංවිධායකවරයා වූ ක්‍රිස්ටි පෙරේරා තම කතා වාරයේදී ද ප්‍රකාශ කර තිබිණි. වයඹ රිදී සිනූව ලෙසින් බොහෝ දෙනෙක් හැඳින්වූ ජී. එම්. ප්‍රේමචන්ද්‍රට තොටළඟ රැස්වීම් භූමියට පැමිණීමට කිසිසේත් අදහසක් නොතිබිණි. තොටළඟට පැමිණීමට පෙර ඔහු සහභාගිව සිටියේ බිංගිරියේ පැවති රැස්වීමකටය. එහෙත් ගාමිණී දිසානායක මහතාගේ ඉල්ලීම මත ඔහුට තොටළඟ පැවති රැස්වීමට පැමිණීමට සිදුවිය. ඔවුන් දෙදෙනාගේ දිගුකාලීන මිතුදමක අවසානය තීරණය කිරීමට එදින තොටළඟ බෝම්බයට හැකි විය. ඔවුන් දෙදෙනාගේ මිතුදම ඇතිවූයේ 1971 ඔක්තෝබර් මාසයේදී ගාමිණී දිසානායක මහතා නුවරඑළිය අතුරු මැතිවරණයට තරග කිරීමත් සමඟිනි. මැතිවරණයේදී සමගි පෙරමුණ මෙන්ම එජාපය ද ප්‍රබල සටනක නිරත විය. මෙම මැතිවරණයේදී ගාමිණී දිසානායක මහතාගේ සහායට ජේ. ආර්. පී. සූරියප්පෙරුම සහ ජී. එම්. ප්‍රේමචන්ද්‍ර ද එක්විය.
බෝම්බ ප්‍රහාරයෙන් මියගිය වෛද්‍යවරයකු වන ගාමිණී විජේසේකර මහතා මිය යන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙසින් කටයුතු කරන්නට විය.
1994 ඔක්තෝබර් 7 වැනිදා ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 6 දෙනෙකු නාමයෝජනා භාර දුන් නමුත් ඉන් ප්‍රධාන අපේක්ෂකයන් ලෙසින් සටන පැවතියේ පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා එජාපයේ ගාමිණී දිසානායක අතරයි. ලාංකේය දේශපාලන ඉතිහාසයේ මෙය වැදගත් දිනයක් විය. මන්ද මීට පෙර එකම බෝම්බ ප්‍රහාරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනෙකු මිය යාමට ලක්ව තිබුණේ නැත. මින් එක් අයකු ජනපති අපේක්ෂකයකු ද විය. ගාමිණී දිසානායකගේ ඝාතනයත් සමඟින් එජාපය විශාල අර්බුදයකට මුහුණ දුන් අතර, සාකච්ඡා කිහිපයකින් පසු විකල්ප අපේක්ෂිකාව ලෙස ඒ මහතාගේ බිරිය වූ වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මිය මැතිවරණ සටනට එක්වූවාය. එහෙත් ඉන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එහිදී ඇය ඡන්ද 4,709,205ක් ලබාගත්තේ 62.28%ක ප්‍රතිශතයකිනි. 35.91%ක ප්‍රතිශතයක් ලබාගනිමින් ශ්‍රීමා දිසානායක මහත්මිය ඡන්ද 2,715,283ක් ලබා ගන්නට වූවාය.
කවරක් වුවද 1994 ඔක්තෝබර් 23 වැනි දින පැවැති තොටළඟ එක්සත් ජාතික පක්ෂ රැලියේදී අනාගතය වෙනුවෙන් විසල් කාර්යභාරයක් ඉටුකිරීමට සිටි දේශපාලන නායකයෝ කිහිපදෙනෙකුගේම ඉරණම තීරණය වූහ.
රජිත බස්නායක