Home Politics News Room : භීෂණය මැද්දේ පැවැත්වූ දෙවැනි ජනාධිපතිවරණය

News Room : භීෂණය මැද්දේ පැවැත්වූ දෙවැනි ජනාධිපතිවරණය

0
0

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තර්ජන නිසා අපේක්ෂකයින්ට සිය ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම බරපතළ ගැටලුවක් වූයේ එම ප්‍රචාරක රැලි පැවැත්වෙන ප්‍රදේශවල ඔවුන් නිල නොවන ඇඳිරි නීතිය පැනවීම නිසාය.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු 1947 සිට මේ දක්වා පාර්ලිමේන්තු මැතිවරණ හා ජනාධිපතිවරණ රාශියක් පවත්වා ඇත. ඒවායින් 1988 ජනාධිපතිවරණය සහ 1989 පාර්ලිමේන්තු මැතිවරණය හැර අනික් සෑම මැතිවරණයක්ම පැවැත්වූයේ සාමකාමී වාතාවරණයකය.

එහෙත් 1988 දෙසැම්බර් මස 19 වැනි දින පවත්වනු ලැබූ ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ ප්‍රචණ්ඩකාරී හා භීෂණය රජකළ මැතිවරණය ලෙස සැලැකිය හැක.

ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා වූ මෙම ජනාධිපතිවරණයට නාමයෝජනා භාර ගනු ලැබුවේ 1988 නොවැම්බර් මස 10දා ය.

මේ සඳහා එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද ඔසී අබේගුණසේකර මහතා එක්සත් සමාජවාදී පෙරමුණෙන්ද නාමයෝජනා භාර දුන්හ.

ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරණය පවත්වන ලෙස විපක්ෂය ඉල්ලා සිටිය ද ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා එයට ඇහුම්කන් දුන්නේ නැත.

ඒ අතර විපක්ෂය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය, ලිබරල් පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ මේ සඳහා සාකච්ඡා පැවැත්වීය. මේ වනවිට තහනම් කොටසක් ලෙස පැවති ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ නමිනි. එස්.ඩී. බණ්ඩාරනායක මහතා එහි සභාපති වශයෙන් ද ආර්ය බුලේගොඩ මහතා ප්‍රධාන ලේකම් වශයෙන් ද ප්‍රසිද්ධියේ පෙනී සිටි නමුත් එහි පිටුපස සිටියේ ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර හා ලේකම් උපතිස්ස ගමනායකය.

පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡා වට ගණනාවක්ම පැවැත් වූ නමුත් පොදු අපේක්ෂකයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවර‍යකු පත් කළ යුතු යයි ප්‍රගතිශීලි පෙරමුණ (ජනතා විමුක්ති පෙරමුණ) තරයේ කියා සිටි නමුත් එය අසාර්ථක වූයේ අනෙක් පක්ෂවල විරෝධය නිසාය.

මේ වනවිට රහසිගතව සැඟවී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හා එහි ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කළ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව මේ වනවිටත් රටපුරා පැවැති ආණ්ඩු විරෝධයෙන් මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගත් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය රජයට විරුද්ධව විරෝධතා සහ පෙළපාළි සංවිධානය කළ අතර පාසල් සිසුන් හා සාමාන්‍ය ජනතාව ඒවාට බලෙන් සහභාගි කරවාගත්තේය.

ඒ හැර තුණ්ඩු කෑලි මඟින් කඩ සාප්පු හා කාර්යාල වසා දැමීම, විදුලි ට්‍රාන්ස්පෝමර් විනාශකොට විදුලිය විසන්ධි කිරීම, ලංගම බස් රථ ගිනි තැබීම, ගොවිජන සේවා මධ්‍යස්ථාන ආදී රජයේ ගොඩනැඟිලිවලට ගිනි තැබීම ආදි කඩාකප්පල් ක්‍රියා මඟින් රටේ සිවිල් පාලනය අඩපණ කිරීමට ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කටයුතු කළේය.

එපමණක් නොව ජනාධිපතිවරණය දා ඡන්දය දීමට යන පළමු පස්දෙනා මරා දමන බවටද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රසිද්ධියේ තර්ජනය කළේය.

තවද එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වමේ පක්ෂවල ක්‍රියාකාරීන්ට හා ආධාරකරුවන්ට එම පක්ෂවලින් ඉල්ලා අස්වන ලෙසත්, ඒ බවට නිවෙස් ඉදිරිපිට බැනර් ප්‍රදර්ශනය කරන ලෙසත් නියෝග කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එම නියෝග නොතැකූ ආසන සංවිධායකයින් වෘත්තීය සමිති නායකයින් , කලාකරුවන් හා භික්ෂූන් වහන්සේලා සිය ගණනක් මරා දැම්මේය.

ඔවුන් ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හරිනු ලැබූ තැපැල් කාර්යාලවලට ද කඩා පැන එම ඡන්ද පත්‍රිකා පැහැරගත් අවස්ථා සිය ගණනක් වාර්තා විය. නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු නොකරන ලෙසට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තැපැල් සේවකයින්ටද තර්ජනය කොට තිබුණි. මේ අතර ආණ්ඩුවේ ආධාරකරුවන්ද තමන්ට ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට පුළුවන් බව පවසා තැපැල් කාර්යාලවලින් නිල ඡන්ද පත්‍රිකා පැහැරගෙන ගොස් තිබූ නමුත් ඒවා ඡන්ද දායකයින්ට බෙදා දී නොතිබුණි. එම ඡන්ද පත්‍රිකා යොදාගෙන හොර ඡන්ද දැමූ බව ද පසුව වාර්තා විය.

ජනාධිපතිවරණයේ එක්සත් සමාජවාදී පෙරමුණේ අපේක්ෂකයා වූ ඔසී අබේගුණසේකර මහතාගේ මංගල ප්‍රචාරක රැලිය කොළඹ කොස්ගස් හන්දියේ දී පැවැති අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එම ප්‍රදේශයට නිලනොවන ඇඳිරිනීතිය පනවා තිබුණි. ඒ නියෝග නොතකා ඔසී අබේගුණසේකර මහතාගේ රැලිය ආරම්භ වූ අතර රාත්‍රි 8ට පමණ එයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

එක්සත් සමාජවාදී පෙරමුණේ අපේක්ෂක ඔසී අබේගුණසේකර මහතාගේ තවත් ප්‍රචාරක රැලියක් කඩවතදී පැවැත්විණි. කඩවත නගරයේ පැවැති එම රැලියට ද වෙඩි ප්‍රහාරයක් හා බෝම්බ ප්‍රහාරයක් ද එල්ල විය. ඒ අවස්ථාවේ ජනතාව අමතමින් සිටි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උප සභාපතිවරයකු වූ දේව බණ්ඩාර සේනාරත්න මහතා මියගිය අතර නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා බරපතළ තුවාල ලැබීය. මෙම රැලිය වාර්තා කිරීමට ගොස් සිටි ‘ඇත්ත’ පුවත්පතේ මාධ්‍යවේදියකු වූ චූලවංශ සිරිලාල් මහතාට ද තුවාල සිදු වූ අතර ඔහු ද රෝහල්ගත කෙරිණි.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තර්ජන නිසා අපේක්ෂකයින්ට සිය ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම බරපතළ ගැටලුවක් වූයේ එම ප්‍රචාරක රැලි පැවැත්වෙන ප්‍රදේශවල ඔවුන් නිල නොවන ඇඳිරි නීතිය පැනවීම නිසාය.

මෙම තර්ජන ගර්ජන මධ්‍යයේ රත්මලානේ සහ හිඟුරක්ගොඩ පැවැත්වූ ශ්‍රීලනිප අපේක්ෂිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රචාරක රැලි දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය. හිඟුරක්ගොඩ රැලියට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් කිහිපදෙනෙකුට තුවාල සිදුවූ අතර බණ්ඩාරනායක මැතිනිය ආරක්ෂා සහිතව හෙලිකොප්ටරයකින් කොළඹට ගෙන ඒමට සිදුවිය.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලි දැඩි ආරක්ෂාව මැද පැවැත්වූ නමුත් ඒවාට සෙනඟ සිටියේ නැත. මෙයට උපක්‍රමයක් වශයෙන් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන භූමියේ සිට කිලෝමීටරයක් පමණ දුරට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකොට තිබුණි. ඒ නිසා රැස්වීම්වලට නොපැමිණිය ද මහජනයාට නිවෙස්වල සිටම රැස්වීමේ කෙරෙන කතාවලට සවන් දීමට හැකි විය.

මේ අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හා තර්ජනවලට මුහුණදීම සඳහා ආණ්ඩුව පැත්තෙන් ද සන්නද්ධ කණ්ඩායම් පිහිටුවනු ලැබීය. ප්‍රා, කළු බළල්ලු ආදී විවිධ නම්වලින් ක්‍රියාත්මක වූ මෙම සන්නද්ධ කණ්ඩායම්වල හමුදා සාමාජිකයින් හා විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ද සිටියහ.

මේ වන විට පළාත් සභා 7ක බලය රාජ්‍ය බලය, හමුදාවේ හා පොලිසියේ බලය සහ රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුව සතුව තිබීම හේතුවෙන් වැඩි බලයක් හා ශක්තියක් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස මහතාට ලැබී තිබුණි.

එසේ වුවද ජනාධිපතිවරණය පැවැති 1988 දෙසැම්බර් 19දා රටේ තිබුණේ භීෂණකාරී වාතාවරණයකි. ඡන්දදායකයින් බියවැද්දීම සඳහා තවත් සමහර පළාත්වල බෝම්බ පුපුරුවා හැර තිබූ අතර ඡන්දපොළට ඡන්දය දැමීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මාතලේදී හා බේරුවලදී ඝාතනයකොට තිබුණි.

තර්ජන හා බියවැද්දීම් නිසා ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි කටයුතු සඳහා නිලධාරීන් වාර්තා කර නොතිබුණි. මේ තත්ත්වය තදින්ම බලපෑ මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද පැවැත්වීම අවලංගු කිරීමට සිදුවූ බව 1988 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ආර්. කේ. චන්ද්‍රානන්ද සිල්වා මහතා නිකුත්කොට ඇති වාර්තාවේ දැක්වේ.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තර්ජන නිසා දිස්ත්‍රික්ක 13ක ඡන්ද මධ්‍යස්ථාන 207කට ඡන්දය දැමීම සඳහා එකුඳු ඡන්දදායකයකුවත් පැමිණ නැත. ඡන්ද මධ්‍යස්ථාන 50කට වැඩි ගණනකට බෝම්බ ප්‍රහාර එල්ලකොට තිබුණි.

ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂණ නිලධාරියකු ලෙස කටයුතු කළ සහකාර රබර් පාලක එස්. එස්. අබේසුන්දර මහතා ආරක්ෂක නිලධාරිනිය ද කැටුව ඡන්ද මධ්‍යස්ථානයක් පරීක්ෂා කිරීමට යමින් සිටියදී බුදුරුවගල ප්‍රදේශයේදී වෙඩි වැදී මිය ගියේය. ඒ හැර බදුල්ල දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයකු වූ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියකුව සිටි එම්. ඒ. ගුණවර්ධන මහතා සහ ඔහුගේ රියැදුරු ඩබ්ලිව්.ජී. ජයසේන මහතා ද වෙඩි වැදී මියගිය බව මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවේ දැක්වේ.

මේ අතර හමුදා නිල ඇඳුමෙන් සැරැසී ආයුධ සන්නද්ධව සමහර ඡන්ද මධ්‍යස්ථාන වෙත කඩාවැදුණු කණ්ඩායම් ඡන්ද නිලධාරීන්ගෙන් බලහත්කාරයෙන් ඡන්ද පත්‍රිකා උදුරාගෙන ඒවා ලකුණු කර ඡන්ද පෙට්ටිවලට බහාලූ බවට ද මැතිවරණ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් දන්වා තිබුණි.

මෙම භීෂණකාරී වාතාවරණය මැද පැවැති 1988 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ආර්. ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 279331 කින් ජයගෙන තිබුණේ 50.45%ක ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

ශ්‍රීලනිප අපේක්ෂිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලැබී තිබුණේ ඡන්ද 22,89868ක් වන අතර එහි ප්‍රතිශතය 44.90%කි.

සමාජවාදී එක්සත් පෙරමුණේ අපේක්ෂක ඔසී අබේගුණසේකර මහතා ඡන්ද 23,5719ක් ලබාගෙන 4.6ක ප්‍රතිශතයක් ලබා ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තර්ජන, බෝම්බ පිපිරවීම්, මිනිස් ඝාතන ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියා නොවන්නට 1988 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විශාල ලෙස වෙනස්වීමට ඉඩ තිබූ බව ඒ දිනවල විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුණි.

දයා ලංකාපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here