Home Politics News Room : ශ්‍රීලංනිපය සහ නව සන්ධානය සන්ධාන ගත වෙයි

News Room : ශ්‍රීලංනිපය සහ නව සන්ධානය සන්ධාන ගත වෙයි

0
0

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් හා යුගයේ අවශ්‍යතාවයක් ඉටු කරමින් නව සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ, සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වීම අද (14) ‍බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ‍හෝටලයේදී පැවැත්විණි.

පොදුජන එක්සත් පෙරමුණ 21 දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වේ.

පොදුජන එක්සත් පෙරමුණේ නිලධාරි මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න, නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, නව සන්ධානයේ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සූරේෂ් රාඝවන්, නීතිඥ ෆයිසර් මුස්තාපා, නව සන්ධානය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රෙම්ජයන්ත, ජෝන් සෙනවිරත්න, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නාය‍ක ඩග්ලස් දේවානන්දා, ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් ස්වාධීන වූ එස්.එම්.එම්. මුසාරෆ්, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පෝක්කු තමිලර් කලකම් පක්ෂයෙන් ස්වාධීන වූ එස්.වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන වූ මොහොමඩ් මුසම්මිල්, නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිදිගොඩ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ ස්වාධීන වූ අනූප පැස්කුවල්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නසිර් අහමඩ්, ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ස්වාධීන කණ්ඩායමක් ලෙස හිටපු ශ්‍රි ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ, නව ජනාතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී.කලංසූරිය යන මහත්වරන් පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධාන ගතවී සිටියි.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ නිල වෙබ් අඩවියද මෙහිදී එළි දක්වනු ලැබීය. සැමට වෙනස් දැක්මක් සැමටම සුබවාදී අනාගතයක් යන මැයින් People’s Alliance වෙබ් අඩවිය එළි දක්වනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන‍ ලේකම් දුමින්ද දිසානායක මහතා,

අද අපි අලුත් දේශපාලන ගමනකට මුල පුරනවා. අද විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටින්නේ මෙරට සන්ධාන ඉතිහාසයේ අලුත් පිටුවක් සංකේතවත් කරන්න. සන්ධාන ඉතිහාසයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රබල ස්ථානයක් හැමදාමත් හිමි කර ගත්තා. සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන දෙපළම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙරට සන්ධාන දේශපාලනයේ ශක්තිමත් අඩිතාලම් දමමු දෙපළක්. මේ නිර්මාණය වන්නේ මෙරට දැවැන්තම සන්ධානයයි. පොදුජන එක්සත් පෙරමුණ ගොඩනගන මෙම සන්ධානය ඉදිරියේදී මුළු රටේම අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක්. අද රට ඔසවා තබන්නට හැකිවන්නේ අප නිර්මාණය කළ මෙම සන්ධානය තුළින්. ඉතිහාසය පුරාම වැටිච්ච රටක් ගොඩ ගැනීමේ හයිය ලබා දී ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණයි. අපි ඕනෑම මැතිවරණයකට ඕනෑම අවස්ථාවක සූදානම්. පාර්ලිමේන්තුව තුළත් විශාලතම මන්ත්‍රී කණ්ඩායම අප සතුව සිටිනවා. ඉන් පිටතත් දැවැන්ත වෘත්තිය සමිති ව්‍යාපාරයක්, අනුබද්ධ සංවිධාන ජාලයක්, ජාතික සංවිධාන විශාල සංඛාවක් අපි සමග සිටිනවා. ඒ අනුව අද අපි අලුත් දේශපාලන ගමනක් යන්නට සූදානම්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා,

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පැරණි සන්ධානය මේ රටේ දේශපාලනය තීරණාත්මක තැනකට අරන් ආ කඳවුරක්. පැරණි සන්ධානය නූතන යුගයට සරිලන පරිදි සකස් කර ගනිමින් ජනතා අභිලාෂයන් මුදුන් පමුණුවා ලීමට තීරණය කළා. ව්‍යවස්ථාව වෙනස් කරමින් නීතිමය තත්ත්වයන් සංශෝධනය කරමින් අපි අලුත් සන්ධානයක් ගොඩනැගුවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නිරන්තරයෙන්ම පක්ෂයේ නායකයාගේ ග්‍රහණයට හසු වූ නිසා ජනතාව වෙනුවෙන් හා පක්ෂය වෙනුවෙන් සිදුවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී කැපකිරීම් මග හැරෙමන් තිබෙනවා. දේශපාලන පක්ෂ වල නායකයින් පොදු ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවයන් ග්‍රහණයට ගත් නිසා පක්ෂ දේශපාලනය විනාශ වුනා. උදාහණයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙන්විය හැකියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයා විසින් විනාශ කරද්දී දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා අනෙකුත් සාමාජිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් ගොඩනැගීමට සිදු වුනා. පක්ෂයක් කෑලි ‍වලට කැඩෙද්දි දේශපාලනය කළ නොහැකියි. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ විවිධ කණ්ඩායම්, දේශපාලන පක්ෂ සමග සාකච්ජා කරනු ලැබුවා. ජාති ආගම් බේද නොතකා සියලුම ජන කොට්ඨාශයන් වලට ඒකාබද්ධ විය හැකි සන්ධානයක් ගොඩනැගුවා. පාක්ෂිකයින් අපහසුතාවයට පත් නොකරමින් පුළුල් දේශපාලන නායකත්වයක් සමග පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ගොඩනැගීම මේ සන්ධානයේ ප්‍රධාන අරමුණයි. අපි සමග සියලු දෙනාට එක්විය හැකියි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සියයට 25 කුත් අනෙක් සියයල්ලන්ටම සියයට 75 ක් වන පරිදි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් අපි මේ සන්ධානය තුළ සකස් කළා.

අපි දීර්ඝ වශයෙන් සාකච්ජා කළා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් අප සතු වූ බැවින් මෙරට දේශපාලන පක්ෂ වල නායකයින් සියලු දෙනාම අපි සමග එකතු වෙනවා. ආර්ථික, දේශපාලන, විදේශ ප්‍රතිපත්ති ආදි සියලුම කේෂ්ත්‍රයන් පිළිබද තීන්දු ජනතාව හමුවට පැමිණෙන්නේ නායකත්වයේ මණ්ඩලයේ සාකච්ජාවකින් පසුවයි. ඕනෑම තරාතිමක අයෙකුට අපේ දේශපාලන කදවුර තුළ ඉහළටම යා හැකි ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් සුරක්ෂිත කර තිබෙනවා. පුරුදු දේශපාලනය අවසන් කරමින් ආර්ථිකය ශක්තිමත් තැනකට ඔසවා තබමින් අපි මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිය යුතුයි යන්න තීරණය කළා.

පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා,

අපි පසුගිය කාලය තුළ විශාල කාලයක් වෙන් කළා අලුත් දේශපාලන වැඩපිළිවෙලක් වෙනුවෙන් අපේ සන්ධානයේ විශේෂත්වය තමා නායකත්ව මණ්ඩලයක් තුළින් සියලු දෙනා සමගම සාකච්ජා කිරීම. අපි ලග විශේෂත්වයක් තියෙනවා. ප්‍රජාතන්තවාදය වඩාත් පුළුල් ලෙස ක්‍රියාවට නැංවීම. මෙරට දේශපාලන ඉතිහාසය තුළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට උරුමයක් තිබෙනවා පොදුජන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන්. අපි සියලු දෙනාම මේ ‍මොහොතේ ඒ වෙනුවෙන් කැපවෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. මම මොන සන්ධානයේ නායකත්වය දැරුවත් නිමල් ලාන්සා මහතා නොවන්නට මේ ආකාරයේ පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම අපහසුයි. එතුමාගේ අසිමිත කැපකිරීමට අපි සියලු දෙනාගේ ස්තූතිය පුද කර සිටිනවා. පසුගිය කාලයේ ආර්ථික කඩාවැටීමත් සමග අපිටම අවේණික වූ රටාවක් නිර්මාණය කර ගැනීමට අපට සිදුවුනා.

මෛත්‍රිපාල සිරිසේන මහත් පක්ෂයේ මෙන්ම අපේ රටේද අනාගතය බිද දැමූ නිසා අපේ අපේ ගමන් මග වෙනස් කළා. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගෙන් ගොඩනැගුනු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලිය නැවත වරක් සක්‍රීය කිරීමට අපේ කණ්ඩායමට හැකියාව තිබෙනවා. රාජ්‍යයේ අයිතිය සුරක්ෂිත කරමින් සියලු දෙනා එකතු කර ගනිමින් අපි අනාගතයේ බිද වැටුනු රට ගොඩනැගීමට සූදානම් ඒ සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ සන්ධානයේ සහයෝගය ලබා දීමට සූදානම් බව මේ මොහොතේ ඉතාමත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි.

මෙහිදී පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් නව නිලධාරි මණ්ඩලය හා නායකත්ව මණ්ඩලය සභාවට හදුන්වා දීමද සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here