Home Politics News Room : සජිත් රැල්ලට බියේ ජවිපෙ ආණ්ඩුව සමඟ එක්ව අසත්‍ය පතුරනවා

News Room : සජිත් රැල්ලට බියේ ජවිපෙ ආණ්ඩුව සමඟ එක්ව අසත්‍ය පතුරනවා

0
0

ආණ්ඩුවක් සමඟ ඇතිකරගත් ගනුදෙනුවක් මත අක්කර 12ක භුමි ප්‍රමාණයක් ලබාගැනීමට තමන් උත්සහ කරන බව පවසමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා තමන්ට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන ජනතා රැල්ලට බියෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටින පිරිස් ඉලක්ක කරගෙන අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

පෙරේදා (12) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා මෙසේද පැවසීය.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා මට සහ සමගි ජන බලවේගයට දැඩි චෝදනාවක් එල්ල කරලා තිබෙනවා. ඒ චෝදනා පදනම් විරහිත සාක්ෂි රහිත විකෘති චෝදනා. මගේ දේශපාලන භාවිතය , ක්‍රියාකලාපය සහ ප්‍රතිපත්ති නොදැන අභූත චෝදනා එල්ල කිරීම ගැන මට කනගාටුයි. චෝදනාවක් එල්ල කරන්න පෙර තමන් සතුව තිබෙන ලිපි පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා චෝදනා එල්ල කරන්න ඕන. නමුත් නිවැරදි තොරතුරු මත පදනම්ව නෙවෙයි ඔහු මේ චෝදනා එල්ල කරලා තිබෙන්නේ.

ඒ.එල්.එම්. හෂිම් මහතාගේ පුතා වන කබීර් හෂිම් මහතාට අක්කර 39ක් අම්පිටිය වතු යායෙන් නිදහස් කර දෙන ලෙස ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ ලේකම් ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා. 1980 තමයි මේ ලිපිය යොමු කරන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා නිර්දේශ කර තිබුණත් මෙම ඉඩම තවම නිදහස් කර නැති බව සඳහන් කරමින් 1983දී ඒ.එල්.එම්. හෂිම් මහතා එවක සිටි ඉඩම් ඇමැතිවරයා වන ගාමිණි ජයසූරියට ලිපියක් මගින් දැනුම් දෙනවා.

ඉන්පසු 1983 සිට මෙම අක්කර 39ක් වන ඉඩම කබිර් හෂිම්ට අයිතිය තිබෙන බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහතික කරලා තිබෙනවා. අපේ පවුලට තිබුණ ඉඩම් ප්‍රමාණය සහ ඉතුරු වන ඉඩම් ප්‍රමාණය පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් අමාත්‍යාංශය තහවුරු කරලා තිබෙනවා.

2017දී මෙම අක්කර 39ක ඉඩම ලබාදෙන්න කියලා ඉඩම් අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දෙනවා. ඒ අවස්ථාවේ ඉඩම් ඇමැතිවරයා ලෙස කටයුතු කළේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දෙනවා. මෙම අක්කර 39 ඉඩම සම්බන්ධයෙන් ඇති නිත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් සොයාබලන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ප්‍රකාශ කරනවා. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හිටපු ජනාධිපතිට දැනුම් දෙනවා අක්කර 39ක ඉඩම කබිර් හෂිම්ට හිමි ඉඩමක් කියලා. ඒ අනුව එම ඉඩම ලබාදෙන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ජනාධිපති මහින්ද රාජපක්ෂ නිර්දේශ කරනවා. නමුත් අක්කර 39න් 27 යි දෙන්න පුළුවන් කියලා ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියනවා. ඉතුරු වන අක්කර 12 වෙන කොහෙන් හරි හොයාගන්න කියලා දැනුම් දෙනවා. ඒ අක්කර 12 තමයි මම ඉල්ලන්න කටයුතු කළේ. නැතුව ආණ්ඩුව එක්ක ඩීල් දාලා ඉඩම් අල්ලගන්න මම කටයුතු කළේ නෑ.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here