16
“අපි වෙනුවෙන් රට භාරගත් නායකයන් ලංකාවෙන් පැන යද්දී මේ රට භාර ගත්තේ රනිල් වික්රමසිංහ මහතා බවත්, ඔහු හොඳ ගතිගුණ ඇති අභියෝග භාර ගන්න පුළුවන් හොඳ නායකයකු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්රම මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන බල මණ්ඩලයේ සහාය රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට දීමේ අවස්ථාවට එක්වෙමින් පසුගියදා කදුරුවෙල රාමදා හෝටලයේදී පැවති රැස්වීමේදීය.
එහිදී වැඩිදුරටත් අදහස්ද දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
“කොරෝනා වසංගතය, අරගල අවස්ථාව වගේම මේ රට විනාශකාරී අවස්ථාවේදී අපේ රජවරුන්ට ජනතාව ඉල්ලපු දේ දීමට හැකියාවක් තිබුණේ නෑ. නායකයෙක් වුණාම ජනතාවට ඇහුම්කන් දෙන්න ඕනෑ. අපේ නායකයන් එහෙම ඇහුම්කන් දුන්නේ නෑ. ජනතාව ඉල්ලපු දේ දුන්නේ නෑ. ජනතා නායකයකුගේ යුතුකම සහ වගකීම තමයි ජනතාව ඉල්ලන දේ දෙන එක. රාජපක්ෂවරුන්ට අපි අරන් දුන්න වරම රැකගන්න බැරි වුණා. ජනතාව ඉල්ලපු දේ නොදුන්න නිසා අවසානයේදී අපට හැංගෙන්න සිදු වුණා. ගුටි කන්න සිදු වුණා. අරගලකරුවන් අපේ ගෙවල් පුච්චලා විනාශ කළා. අහිංසක අමරකීර්ති අතුකෝරළ මන්ත්රීවරයාගේ ජීවිතේ විනාශ වුණා.”
සිරිපුර – මදුශානි අබේසිංහ