13
“මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හමු වුණා. එහිදී අපි හිටපු ජනපතිට පෙන්වා දුන්නා දැනට දකින ආකාරයට හොඳ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව. එහිදීරනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි සහයෝගය දෙන්න ඕනෑ කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිව්වා. මහින්ද මහත්මයා එ්කට එකඟ වුණා.” යැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිරයා මේ බව කියා සිටියේ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වීමෙන් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එම අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක සහ හිටපු මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“සති අන්තයේ පුවත්පත්වලින් එළි වුණා, පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වෙලා කියලා. ඒ අය ගිහින් තියෙන්නේ විපක්ෂ නායක පුටුව ඉල්ලලා. ඊට පස්සේ අපේ දේශපාලන මණ්ඩලය කැඳෙව්වා. දේශපාලන මණ්ඩලයේ හැටක් ඉන්නවා ඇවිල්ලා හිටියේ විසි දෙනයි. අනිත් අය පක්ෂයේ මහ ලේකම්වරයාගේ කැමැත්ත පරිදි ඉවත් වූ පිරිසක්. දේශපාලන මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා, අපි අපේක්ෂකයෙක් දානවා කියලා. අපේක්ෂකයාගේ නම ඒ වෙලාවේ අපි කිව්වේ නෑ. යම්කිසි විදිහකට ඒ අය බලාපොරොත්තු වුණා අපේක්ෂකයාගේ නම නොකිව්වත් ඒ දාන අපේක්ෂකයාට සහයෝගය දෙන්න. උදයංග වීරතුංග මහතා දැම්මත් අපට ගිහිල්ලා සහයෝගය දෙන්න වෙනවා එහෙම වුණා නම් එදා. ඒ හින්දා අපි මේකට ලෑස්ති වුණේ නෑ. ඒ වෙලාවේ මන්ත්‍රීවරුන් අසූ දෙකක් වගේ ප්‍රමාණයක් කිව්වා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙනවා කියලා. මේක දැන ගත්තා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න හිටපු ධම්මික පෙරේරා මහත්තයා. ධම්මික පෙරේරා මහත්මයා කිව්වා මම ඉල්ලන්නේ නෑ කියලා. ඊට පස්සේ පවතින ගැටලුව සමථයකට පත් කර ගන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් කර තියෙනවා. තමුන්නාන්සේලාගෙන් මම අහන්නේ නාමල් මන්ත්‍රීතුමා දැනගෙන හිටියා නම් එතුමාට මුල ඉඳන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ධම්මික පෙරේරා මහතාට අවස්ථාවක් දෙනවාද? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට දිනන්න පුළුවන් නම් මොන එකකට ද ධම්මික පෙරේරා කෙනෙක්ට අවස්ථාව දෙන්න හැදුවේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා බලන්නේ විපක්ෂ නායක පුටුව ගන්න. නැතිව ජනාධිපති පුටුව ගන්න නෙමෙයි. මොන පක්ෂයකින් අපි දේශපාලන සටන් කළත් දෙවැනි පැත්තට යන්න අපි සටන් කරන්නේ නෑ. විපක්ෂ නායක පුටුව ගන්නවා කියලා කියන්නේ නෑ. ජනාධිපති පුටුව ගන්නවා කියලා තමයි කට්ටිය කියන්නේ. ජනාධිපතිවරණයේදී පැරදෙනවා කියන්නේ ඇත්තටම වෙනම කතාවක්.”
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත් සහ සබරගමුව සමූහ – ගාමිණී රම්‍යපාල