14
“අපේ මැතිවරණ ව්‍යාපාරය එළැඹෙන 17 වැනිදා ආරම්භ කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය, තංගල්ල, මාතර සහ ගාල්ල නගරවලදී ප්‍රධාන රැලි තුනක් පවත්වා උතුරු නැඟෙනහිර පළාත් ඇතුළත්ව සෑම දිස්ත්‍රික්කයකම සියලු ආසන නියෝජනය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක, ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ පෙරේදා (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“නගරවල සිට ගම් දක්වා තවත් රැස්වීම් මාලාවක් සූදානම් කර තිබෙනවා. අපගේ මැතිවරණ ක්‍රියාවලියට ගෙයින් ගෙට ගොස් කරන ගෘහස්ත සාකච්ඡා ඇතුළත් කර තිබෙනවා. අවම වශයෙන් සෑම නිවෙසකටම දෙපාරක් යෑමට සැලසුම් කර තිබෙනවා. නිවස 50%කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අපි ආවරණය කර තිබෙනවා. 15 වැනිදා සිට අපි නිවෙස්වලට ගොස් පුරවැසියන් මුණගැසීමේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවා. සෑම නිවෙසකටම මූලික ප්රතිපත්තීන් සහ අපේ පණිවිඩය ගෙන යෑමට කුඩා පත්තරයක් බෙදීමට සැලසුම් කර තිබෙනවා. මෙරට ප්රබලතම සාර්ථක ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ අපි. අපේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වන්න අපි සූදානම්. මේ වන විටත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගණනාවක් එළිදක්වා තිබෙනවා. ක්ෂේත්‍ර පහක් කේන්ද්‍ර කරගෙන ඉංජිනේරු ප්‍රතිපත්තිය එළිදක්වා තිබෙනවා. එමෙන්ම ආබාධිතභාවයට පත්වූවන් රැකබලා ගන්නේ කෙසේද, ඔවුන්ට උසස් සමාජ තත්ත්වයක්, ගෞරවනීය ජීවිතයක් උරුම කර දෙන්නේ කෙසේද කියන කරුණු සහිත ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වා තිබෙනවා. IT ක්ෂේත්රයට අදාළ ප්‍රතිපත්ති සැලසුම එළිදැක්වුවා.
ඒ වගේම එළැඹෙන 15 වැනිදා බලශක්ති ක්ෂේත්රය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්රකාශනයත්, 26 වැනිදා සංචාරක කර්මාන්තය සම්බන්ධ වැඩපිළිවෙළත් ඉදිරිපත් කරනවා. රටේ ඩොලර් අර්බුදයට කෙටි කාලීන විසඳුම් සංචාරක කර්මාන්තය හරහා සොයා ගත හැකියි. අපේ ආර්ථික ප්‍රතිපත්තිය සැප්තැම්බර් මස 03 වැනිදා විශාල ව්‍යාපාරික සමුළුවක් පවත්වා සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එළිදක්වනවා. ග්‍රාමීය දුප්පත් ජනතාව ආර්ථිකයේ ප්‍රධාන පංගුකරුවන් බවට පත්කොට අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර යන මූලික අවශ්‍යතා සපුරමින් ඉදිරි සංවර්ධනය පිළිබඳ මූලික අවධානය යොමු කර තිබෙනවා. මේ මස 26 වැනිදා සමාජ, ආර්ථික, සංස්කෘතික සෑම ක්ෂේත්රයක් පිළිබඳව සලකා මැතිවරණ ප්රකාශනය ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජාතික ජන බලවේගය හැටියට අපි මේ මැතිවරණය දක්වා ඉතාමත්ම සංවිධානාත්මක පියවර පසුකරමින් පැමිණියා. ග්‍රාමීය ජනතාවට අපේ පණිවිඩය ගෙන යෑමට ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනඟා එක් එක් ක්ෂේත්රවලට අදාළව වෙන වෙනම සංවිධාන පිහිටුවනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, ආබාධිත වූවන්, වැඩ කරන ජනතාව, විද්වතුන්, ව්‍යාපාරිකයන් ආදී සෑම ක්ෂේත්රයක්ම ආවරණය වන පරිදි සමාජය සංවිධාන කරමින් මේ දක්වා ඉදිරියට පැමිණියා. අපි මැතිවරණ ව්‍යාපාරයට ප්රවේශවී සිටින්නේ ශක්තිමත් යාන්ත්‍රණයක් හා වැඩපිළිවෙළක්. රට ගොඩනැඟිය හැකි ශක්තිමත් සංවිධානාත්මක කණ්ඩායමක් අපි සමඟ ඉන්නවා.”
අමායා රන්දුනු