Home Politics News Room : ගොවි ජනතාව පාරට දමන්න බැරිවුණේ ගොවිජන මධ්‍යස්ථාන වගකීම් ඉටු කළ නිසයි

News Room : ගොවි ජනතාව පාරට දමන්න බැරිවුණේ ගොවිජන මධ්‍යස්ථාන වගකීම් ඉටු කළ නිසයි

1
0

නැවත වරක් ගොවි ජනතාව පාරට ඇද ගැනීමට පසුගිය කාලයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන තම වගකීම නිසි ලෙස ඉටු කිරීම නිසා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (13) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථාන තෝරා ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය වෙනුවෙන් පැවති AGRARIAN AWARD -2024 උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ක්‍රියාත්මක කළ රසායනික පොහොර දීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් දේශපාලන පක්ෂවල ගොවි නියෝජිතයන් ලෙස පෙනී සිටින පිරිස් විවිධ උපක්‍රම ක්‍රියාත්මක කළා. පසුගිය කාලයේ ගොවි ජනතාව නැවත වරක් පාරට ඇද ගැනීමටත්, මෙරට කෘෂිකර්මාන්තය විනාශ කිරීමටත් ඇතැම් දේශපාලන පක්ෂවල නියෝජිතයන් උත්සාහ කළා.

රජය විසින් මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ඉටු කළා. මේ නිසා ඇතැම් දේශපාලන කණ්ඩායම් ගොවි ජනතාව පාරට ඇද ගැනීමට දැරූ උත්සාහය නිශ්ඵල වුණා. 2021 පොහොර අර්බුදය නිසා අපේ වී ගොවිතැන සහ අනෙකුත් වගාවල අස්වැන්න අඩු වුණා. මේ නිසා 2022 සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් රසායනික පොහොර දීමේ වැඩසටහන ආරම්භ කළා.

මේ ගොවීන්ට දෙන්නේ බාල පොහොර කිව්වා. පොහොර මිටියක බර අඩුයි කිව්වා. ඒ නිසා ගොවිජන මධ්‍යස්ථානවලට තරාදි දී කිර කිරා පොහොර නිකුත් කරන්න සිදු වුණා. යුරියා පොහොරවල පණුවෝ ඉන්නවා කිව්වා. අපි ඒ ගැනත් පරීක්ෂණ කළා.

මේ ගොවිජන සේවා මධ්‍යස්ථාන අතර තරගය ඉතා හොඳ තරගයක්. මෙහෙම තරගයක් පවත්වනවා කියලා ප්‍රචාරය කළේ නෑ. හොඳින්ම පවත්වාගෙන යන ගොවිජන සේවා මධ්‍යස්ථාන තෝරා ගනිමින් තමයි මේ ත්‍යාග පිරිනමන්නේ. ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ විශිෂ්ට ලෙස කටයුතු කළා. දැන් හොඳ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. මේ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යෑම ඔබ සියලු දෙනාගේම වගකීමක්.”

මෙහිදී ඒ කාණ්ඩයේ හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථානය වශයෙන් කෝවිල්කුළම් ගොවිජන සේවා මධ්‍යස්ථානයත්, බී කාණ්ඩයේ හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථානය වශයෙන් පැල්මඩුල්ලත්, සී කාණ්ඩයේ හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථානය වශයෙන් උප්පුවේලි ගොවිජන සේවා මධ්‍යස්ථානයත් ඇගයීමට ලක්වූ අතර, එම ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ඇමැතිවරයා අතින් සම්මාන පිරිනැමීම සිදු කෙරිණි.

බුද්ධිකා ඉඹුලාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here