Home Politics News Room : මේ රටේ නායකයා වීමට පුතාණෝ කෙනෙක් හෝ කුමාරයෙක් වෙන්නම ඕන ද?

News Room : මේ රටේ නායකයා වීමට පුතාණෝ කෙනෙක් හෝ කුමාරයෙක් වෙන්නම ඕන ද?

0
0

මේ රටේ නායකයා වීමට නම් පුතාණෝ කෙනෙක් හෝ කුමාරයෙක් විය යුතුම දැයි එසේ නම් තමාත් පුතාණෝ කෙනෙක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානායක මහතා සඳහන් කර සිටියි. ඒ මහතා එසේ පැවසූයේ ඉකුත් දින (12) රක්වාන කත්සුරි උත්සව ශාලාවේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ රක්වාන ආසන බල මණ්ඩලය අමතමිනි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා රණසිංහ ප්‍රේමදාසට අගමැතිකම නොදී ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක යන දෙදෙනාගෙන් එක් අයෙකු පත්කර තිබුණේ නම් අදටත් ඒ තුන්දෙනා ජීවතුන් අතර සිටින බවත් එක්සත් ජාතික පක්ෂය දුර්වල අඩියට පත් නොවන බවත් සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානායක මහතා පැවසීය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය. “ජයවර්ධන ජනාධිපතිවරයා ලලිත්ට, ගාමිණීට, ප්‍රේමදාසට සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන නායකයින්ට වැඩ කරන්න අවස්ථාව සලසා දී තිබුණා. ඒ කාලේ ඇමති කෙනෙක් විදිහට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා විශාල වැඩ කොටසක් මේ රටට කළා. ඒ වුනාට එයාගේ ලොකු දුර්වලකමක් තිබුණා සිදු කරන සංවර්ධන වැඩ පිළිබඳ වැඩි ප්‍රසිද්ධියක් ලබා නොදීම. අපේ රටට වැඩිම වැඩ කොටසක් සිදු කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

වර්තමානය වන විට එක්සත් ජාතික පක්ෂයේ ඒ ටීම් එක වෙනත් පක්ෂ සහ හදාගෙන ගිහින් තියෙනවා. අපිත් එක්ක දැන් ඉන්නේ බී ටීම් එක. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී බී ටිම් එක ඒ ටීම් එක බවට පත් කළ යුතුයි. මේ රටේ නායකයා වෙන්න පුතාණෝ කෙනෙක් හෝ කුමාරයෙක් වෙන්නම ඕනිද. ඒක එහෙම නම් මමත් පුතාණෝ කෙනෙක් තමයි යනුවෙන් පැවසීය.

“මීට වසර දෙකකට පෙර රනිල් වික්‍රමසිංහ රට භාර නොගත්තා නම් බංගලාදේශයට අත්වූ ඉරණම අපේ රටට සිද්ධ වෙන එක නතර කරන්න කිසිවෙකුටත් බෑ. විශාල අභියෝග රැසකට මුහුණ දීලා තමයි අද මේ රට මේ තත්ත්වයෙන් තියාගෙන යන්නේ . ඔය බොරුවට කයිවාරු ගහන උදවිය රට වැටිලා තිබුණු වෙලාවේ රට භාරගන්න කිව්වම පැනලා ගියා. අපේ රටේ ජනතාවට මුල අමතක නැහැ. ජනතාව හරි බුද්ධිමත්. අපට ලොකු විශ්වාසයක් තියෙනවා කෘතගුණ දන්න අපේ රටේ මිනිස්සු ස්වාධීනව තරග කරන රනිල් වික්‍රමසිංහව නැවත වරක් ජනාධිපතිවරයා බවට තෝරා පත් කර ගනී කියලා.” ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා වෙහෙස මහන්සි වී කැපවීමෙන් කටයුතු කළ යුතු බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

මෙම රැස්වීම සඳහා හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර, සිරිපාල කිරිඇල්ල, එක්සත් ජාතික පක්ෂ රක්වාන ආසනයේ සංවිධායක අයි.කේ. මහේෂ් සෝමපාල ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

රක්වාන – ඉන්දික සී. කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here