Home Politics News Room : ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් රනිල් ජනපති වෙනවා

News Room : ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් රනිල් ජනපති වෙනවා

0
0

“සැප්තැම්බර් මාසේ 21 වැනිදා තියෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තීරණාත්මක බලවේගයක් බවට පත් වෙලා තියෙනවා. කවුරුත් එදා කතා කළේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන. හැබැයි අද විජේදාසටත් ශ්‍රී ලංකා කියලා කියා ගන්න ඕන, දයාසිරිටත් ශ්‍රී ලංකා කියලා කියා ගන්න ඕන. මැතිවරණයක් ආවම ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ ටික නැත්නම් අනාගත ජනාධිපතිවරයාට ජනාධිපති වෙන්න බෑ කියන පණිවිඩය තමයි අද මේ එහෙන් මෙහෙන් එක එක්කෙනාගෙන් කියවෙන්නේ. එළැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති වෙන්නේ කවුද කියන එක තීන්දු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. කවුරු කොහොම එකතු වුණත් සැප්තැම්බර් මාසේ 21 වැනිදා මේ රටේ ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙන්නෙත් අපේ ඡන්දයෙන්, ඔබේ ඡන්දයෙන්, ගමේ ශ්‍රී ලංකාකාරයොන්ගේ ඡන්දයෙන් කියන එක අපි ඉතාම ආඩම්බරයෙන් කියනවා” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර නැගෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය අමතමින්ය. මෙම අවස්ථාවට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ඇතුළු ආසන සංවිධායකවරු පිරිසක් ද සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක එච්.පී සෝමදාස මහතාගේ සංවිධායකත්වයෙන් මෙම ආසන බලමණ්ඩලය සංවිධානය කර තිබූ අතර එහිදී නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීම ද සිදුවිය.

“ඔබට මතක ඇති මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අතට ගන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කවුරුත් කතා කළා ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කවුරුත් කතා කළේ නෑ, හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය අපේ අතට ගත්තාට පස්සේ දැන් ගොඩක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව බැරි වෙලා තියෙනවා. හිතලා බලන්න සාමාජිකත්වය අහෝසි කරපු පුද්ගලයෙක් ඇයි පක්ෂයේ ලේකම් විදිහට ගිවිසුමක් අත්සන් කරන්නෙ. ස.ජ.බෙට යනකොටත් ශ්‍රී ලංකා එකේ හිටියා කිව්වොත් තමයි වටිනාකමක් තියෙන්නේ. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා තියෙන ජනාධිපතිවරණයේදී මේ රටේ තීරණාත්මක බලවේගයක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

කවුරු කොහොම එකතු වුණත් සැප්තැම්බර් මාසේ 21 වැනිදා මේ රටේ ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙන්නෙත්, අපේ ඡන්දයෙන්, ඔබේ ඡන්දයෙන්, ගමේ ශ්‍රී ලංකාකාරයොන්ගේ ඡන්දයෙන් කියන එක අපි ඉතාම ආඩම්බරයෙන් කියනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාව තෝරා ගන්න කරුණු කාරණා කිහිපයක් තියෙනවා, එකක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට.

එතුමාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්, හැබැයි එතුමා එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයෙනුත් නෙමෙයි, අපේ ලාංඡනයෙනුත් නෙමෙයි වෙන කාගෙවත් ලාංඡනයකිනුත් නෙමෙයි, ඉදිරිපත් වෙන්නේ. ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට. එතුමාට මේ මාසේ 15 වැනිදා නොමිනේෂන් දුන්නාට පස්සේ, එතුමාට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ලකුණක් ලැබෙනවා.

එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන නිසා උපන් දා ඉඳන් ශ්‍රී ලංකාකාරයෙක් වෙච්ච මට තමන්ගේ පක්ෂය මාරු කරන්නෙ නැතිව තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින්, අපේ පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙළත් තියාගන්න අපිට පුළුවන්කම තියෙනවා. ජනාධිපතිවරයා සියලු පක්ෂවලට ආරාධනා කරලා වැටිච්ච රට ගොඩ ගන්න ඕන, ඒ වෙනුවෙන් මම නායකත්වය දෙන්න සූදානම්, සියලු රට වැසියෝ මාත් එක්ක අත්වැල් බැඳ ගන්න, පක්ෂ, පාට, ජාති, ආගම්, කුල -මල භේදයකින් තොරව රට ගොඩගන්න අරගලයේ කොටස්කාරයෙක් වෙන්න කියලා ආරාධනා කරන කොට උපන් දා ඉඳන් ශ්‍රී ලංකාකාරයෙක් වෙච්ච මට, ඔබට පුළුවන්කම තියෙනවා, අපේ පක්ෂයේ අයිතිය තියා ගෙන අපේ පක්ෂයේ අනන්‍යතාවය තියා ගෙන රට ගොඩගන්න අරගලයේ කොටස්කාරයෙක් වෙන්න. මේ සැප්තැම්බර් මාසේ 21 වැනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්වාධීන අපේක්ෂකයා ලකුණට කතිරයක් ගැහුවම දුමින්ද යූ.එන්.පී වෙන්නෙත් නෑ , රනිල් ශ්‍රී ලංකා වෙන්නෙත් නෑ, දුමින්ද ශ්‍රී ලංකාමයි, රනිල් යූ.එන්.පී මයි, පොහොට්ටුවේ කෙනා පොහොට්ටුවේමයි, ස.ජ.බ කෙනා ස.ජ.බ මයි, යූ.එන්.පී කෙනා යූ.එන්.පී මයි අපිට අපේ පක්ෂවල අනන්‍යතාව තියාගෙන රට දිනන මැතිවරණයේ, රට ගොඩනගන අරගලයේ කොටස්කාරයෙක්, පංගුකාරයෙක් වෙලා අපිට මැරෙන්න පුළුවන්කම තියෙනවා, වැටිච්ච රට ගොඩගන්න අපි පක්ෂ, පාට භේද අමතක කරලා රට වෙනුවෙන් සිංහ කොඩිය අතට අරගෙන අපි එක තැනකට ආවා කියන අභිමානයෙන් අපිට මැරෙන්න පුළුවන්කම තියෙනවා.”

තිසර සමල් – එප්පාවල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here