Home Politics News Room : රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් තොරව රටේ ස්ථාවරත්වයක් ගැන කතා කරන්න...

News Room : රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් තොරව රටේ ස්ථාවරත්වයක් ගැන කතා කරන්න බෑ

1
0

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් තොරව රටේ ස්ථාවරත්වය ගැන කතා කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) කොළඹ පැවැති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශනය යාපා මහතා:

“රටක් ගොඩ ගන්න පුළුවන් ආර්ථිකය නිවැරදි දිසාවට කළමනාකර කිරීමෙන් පමණයි. ඉදිරි ජනාධිපතිවරණය පක්ෂ පාටවලට යට නොවූ පොදු දේශපාලන ක්‍රමවේදයක් හා පොදු ස්ථාවරත්වයක් ඇති කරන මැතිවරණයක් බවට පත් වෙනවා. රටේ ඕනෑම දේශපාලන මතයක් දරණ අයට එකතු විය හැකි පක්ෂ පාටවලට යට නොවූ පොදු දේශපාලන වේදිකාවක් නිර්මාණය කර තිබෙනවා. පක්ෂ සන්ධාන ඇතුළු ප්‍රධාන පාර්ශ්ව තිස්හතරක් එකතු කරගෙන ජනාධිපතිතුමාට සහාය පළ කරන්න තීරණය කළා. පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරු හැටියට අපි කණ්ඩායමක් එකතුවෙලා පුටුව ලාංඡනය සහිත පොදුජන එක්සත් පෙරමුණ නැවත පණගන්වන ප්‍රගතිශීලී බල කදවුරකුත් නිර්මාණය කළා.

“රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනාටම එකතු වීමේ වේදිකාවක් මේ හදලා තියෙන්නේ. තරුණ, බාල, මහලු සෑම කෙනෙක්ම අද රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ශක්තිමත් නායකත්වය අවශ්‍යයි කියන දේ පිළිගන්නවා. රටක ආර්ථිකය ලෝකය වෙනස් වන දිශාවට ගමන් කළ යුතුයි. නවීනත්වය වැළඳගනිමින් ශක්තිමත් රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. තරුණ ප්‍රජාවගේ ප්‍රධාන ඉල්ලීම වුණෙත් ඒයයි.

“තමන්ගේ රට ගැන විශ්වාසයක් නැත්නම්, තමන්ගේ ක්‍රමය ගැන විශ්වාසයක් නැත්නම් ජීවත්වීම පිළිබඳ ගැටලුවක් නිර්මාණය වෙනවා. එහෙම වුනාම තරුණ ප්‍රජාව රටෙන් බැහැර වෙලා බුද්ධි ගලනයක් සිදුවෙනවා. අර්බුද ඇති වුණ බොහෝ රටවල ඒ තත්ත්වය දකින්න ලැබෙනවා. අද බංගලාදේශයත් ඒ තත්ත්වයට මුහුණදීලා. ආර්ථිකය දියුණු වුණත් සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කරගන්න බැරිවීම නිසා සහ සංහිඳියාව නිර්මාණය කරගන්න බැරි වුණ නිසා බංගලාදේශයේ ගැටුම් ඇතිවෙලා. අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වෙලා. පොලිසිය දාලා ගිහිල්ලා. තරුණ තරුණියෝ ඩකා නගරයේ පොලිස් රාජකාරී කරනවා අපි දැකල තිබෙනවා. මේක රටකට හොඳ දෙයක් නෙවෙයි විප්ලව නරක නැහැ.හැබැයි හරියට නොවුණොත් නරක අතුරුපල ලැබෙනවා.

“පසුගිය අවුරුදු දෙකක කාලය තුළ ජනාධිපතිතුමාට ජනතාව තුළ විශ්වාසය ඇති කිරන්න පුළුවන් වුණා. ජාත්‍යන්තර සබඳතා නැත්නම් එවැනි විශ්වාසයක් ජනතාව තුළ ගොඩනඟන්න බැහැ.ලෝකය කියන්නෙ රට ඇතුළේ තියෙන දෙයක් නෙවෙයි. නායකයෙක්ට ලෝකය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම නායකයෙක් වෙන්න අත්දැකීම් තියෙන්න ඕනේ. ජනාධිපතිතුමා මේ විශාල විප්ලවය කළේ තනියම නෙවෙයි. ගෝලීය වශයෙන් ඔහු ඉතා හොඳ මිත්‍රත්වයක් හදාගත්ත රටවල් එතුමාට උදව් කළා.ඒ නිසා මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයන්න පුළුවන් වුනා.

“අපි ඉන්නේ ඉතා වැදගත් සන්ධිස්ථානයක. විදේශ විනිමය වැඩි කරගැනීම, අපනයන ආදායම වැඩි කරගැනීම, විදේශ ප්‍රේශන වැඩි කරගැනීම, සංචාරක ආදායම වැඩිකර ගැනීම ආදිය පහුගිය කාලයේ දී සිදු වුණා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්‍රමවල ප්‍රතිසංස්කරණ වගේම ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා කර ඇති කරගත් එකඟතා තිබෙනවා. ඒ වගේම ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරලා ජාත්‍යන්තරව මෙතෙක් වැහුණු දොරවල් විවර කරලා තිබෙනවා. කුඩා සෙලවීමකින් මේ තත්ත්වය නවතිනවා. ඡන්දයෙන් පස්සේ ඇතිවෙන කුඩා විවරයකට පුළුවන් අපේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳවට්ටන්න. එතුමාගෙන් තොරව රටේ ස්ථාවරත්වය ගැන කතා කරන්න බැහැ.

“ප්‍රායෝගිකව ජනතාවට ගැළපෙන විදියට මේ තත්ත්වය සකස් කරන්නයි අපි උත්සාහ කරන්නේ. ආර්ථික කඩාවැටීම්වලදී ලෝකෙ අනිත් රටවල් රාජ්‍ය සේවකයෝ අඩු කලා; දීමනා අඩු කළා. එහෙත් ලංකාවේ කිසිම අවස්ථාවක රාජ්‍ය සේවකයෝ අඩු කළේත් නැහැ. දීමනා අඩු කළෙත් නැහැ. අමාරුවෙන් හරි පඩිය වැඩි කළා. දැන් කතා කරන්නේ තවදුරටත් ඒ අයට වැඩි පඩියක් ලබාදීම ගැනයි. ඒ වගේම අනිත් අයගේ ආදායම් වැඩි කිරීමටත් පියවර ගත්තා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ අමාරුවෙ වැටිලා ඉන්න අයට සහාය දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේවා තවදුරටත් වැඩි දියුණු වෙන්න ඕන.

“දශක හය හතක් තමන්ගෙ ඉඩම් වලින් නිසි ප්‍රයෝජනයක් ගන්න බැරි වුණ පිරිසක් සිටිනවා. දරුවෙකුට ඒවා බෙදලා දෙන්න බැරි වුණා. හිටවපු ගහ කපා ගන්න බැරි වුණා. ජනාධිපතිතුමා නිවැරදි ලෙස කල්පනා කරලා උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදෙන්න කටයුතු කළා. ඒවා ප්‍රගතිශීලි යෝජනා. ප්‍රගතිශීලි කියන වචනය අයිති වමේ අයට විතරක් නෙවෙයි. ඒක හැමෝටම අයිතියි. උරුමය මගින් ඔවුන් ඉඩම් හිමියන් බවට පත් කරන ඉතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. රටේ ආර්ථික හැසිරීම ඉතාම බලවත්. ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළ වෙනස් කරලා අනිත් පක්ෂ කියන විදිහට වෙනස්කම් කළොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ජාත්‍යන්තර ගිවිසුමක් ඒක පාර්ශ්විකව බිඳින්න බැහැ. ද්වීපාර්ශ්වීයව කතා කරල තියෙන ගිවිසුමක් එහෙම වෙනස් කරන්න බැහැ. අපිට ටාගට් එකක් තියෙනවා. ජනතාවට පොරොන්දු දේශපාලනය තවදුරටත් වලංගු නැහැ. දැන් තියෙන්නේ ප්‍රතිපත්ති දේශපාලනයක්.

“මේ ජනාධිපතිතුමා හැර වෙන ඕනම අපේක්ෂකයෙකුට මේ තත්ත්වයෙන් රට ඉදිරියට ගෙනියන්න අමාරුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වාරය එතුමාට දිය යුතුයි. එතුමාගේ අත්දැකීම්, එතුමාගේ ක්‍රියාශීලීත්වය, එතුමා කරපු වැඩ අනුව රට ඉතාම නරක තැනකින් ගොඩ ඇවිත් කියන එක ගැනත් අපි කල්පනා කරනවා. එතුමාගේ වාසනාවට ලැබිලා තියෙන්නෙත් ගෑස් සිලින්ඩරය ලකුණ. ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ජනතාවගේ ඉදිරි ගමන වෙනුවෙන් එතුමාගේ සේවය ලබා දෙන්න එතුමා අපේක්ෂා කරනවා. පක්ෂපාට භේද වලින් තොරව එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දෙන්න.

“පොරොන්දුවලට දේශපාලනය කරන්න බැහැ. අපිට තියෙන ආදායම අනුවයි පොරොන්දු දෙන්න වෙන්නේ. වෙනදා පොරොන්දුවක් දීලා ණය ගන්න පුළුවන්. අතිරේක වියදමක් ගියොත් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුළුවන්. දැන් ඒක කරන්නත් බැහැ. ඒ නිසා අපිට තියෙන බදු මුදල් මතයි අපි යැපෙන්න ඕනේ. පොරොන්දු දුන්නොත් ඒක බොරුවක් වෙනවා. මම හිතන්නේ නැහැ දැන් ජනතාව පොරොන්දු විශ්වාස කරනවා කියලා. රටක් ගොඩ ගන්න පුළුවන් ආර්ථිකය නිවැරදි දිසාවට කළමනාකරණය කිරීමෙන් පමණයි. අප ඉදිරියේ සංකීර්ණ රටක් හා සංකීර්ණ ගමනක් තියෙන්නේ. ඒකට සංයමය සහ කැප වීම මුසු වුණු සංවිධාන වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේක ප්‍රතිපත්තිමය සටනක්. මේ වෙලාවේ වත්මන් ජනාධිපතිවරයාට උදව් කළා නම් හොඳයි. පොහොට්ටුවේ ඉන්න බහුතරය ඒ අදහසෙන් ජනාධිපතිතුමාට සහාය දෙනවා. මෙතනට දේශපාලන පක්ෂ අදාළ නැහැ. පුද්ගලයෝ අදාළ නැහැ; පවුල් අදාල නැහැ; බලවත්කම ආදාළ නැහැ. අපට ඕනැ කරන්නේ රට ඉස්සරහට ගෙනියන්න විතරයි. රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළ සමග අපි එකතු වෙනවා. රටේ ඉදිරි ගමන පවතින්නේ, ස්ථාවරත්වය පවතින්නේ කොතනද කියන දේ ජනතාව ඉතා හොඳින් තේරුම් ගන්නවා. ඒක වැඩ කරන පංතියට, සේවක පන්තියට පුද්ගලයින්ට හැමෝටම ආදාළයි. ඒ ඔක්කොම එකතු වෙලයි මේ තීන්දුව ගන්නේ. ඒ නිසා මේක පොදු ස්ථාවරත්වය ඇති කරන මැතිවරණයක් බවට පත් වෙයි.”

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here