Home Politics News Room : විශ්වාස කරන්න බැරි අයගේ උදවු ගන්න රනිල් කැමැති වුණේ...

News Room : විශ්වාස කරන්න බැරි අයගේ උදවු ගන්න රනිල් කැමැති වුණේ නෑ – ඇමැති මහින්ද අමරවීර

3
0

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළද ජනාධිපතිතුමන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට සහයෝගය පළ කරන බෙලිඅත්ත ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ කමිටු නියෝජිතයන් හමු වූ රැස්වීමේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අමරවීර මහතා මෙම අදහස්ද පළ කළේය:

“මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවිඩකරුවන් යවා තිබෙනවා. ඒත් එවැනි විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයෙකුගේ සහයෝගය තමාට අවශ්‍ය නැති බව පවසමින් ජනාධිපතිතුමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ වෙන කොට මෛත්‍රිපාල විජේදාස දීගයත් අවසන්. අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා වුණත් මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට උදවු කළ සියලු දෙනා අවසානයේ අතරමං කළා; රැවැට්ටුවා. එතුමාගේ මුළු ඉතිහාසය පුරාම තිබෙන්නේ මිනිසුන් මුළා කිරීම.

“පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට විජේදාස රාජපක්ෂ මහත්තයා පත් කළා. ඒක නීතිවිරෝධී බව අධිකරණය පවා තීන්දු කෙරුවා. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට වෙනත් පෙරමුණකින් ඉදිරිපත් වෙනවා. අපිට ආරංචි විදියට දැන් මෛත්‍රිපාල සිරිසේන අපේ හිටපු සභාපතිවරයා විජේදාස රාජපක්ෂ මහත්තයාවත් අතරමං කරළා. දැන් එයා වෙනත් තැන් හොයනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් සියයට 95ක් මාත් සමග ඉන්නවා යැයි කී විජේදාස රාජපක්ෂ මහත්තයාට අද සියයට 5ක්වත් නෑ. නමුත් විජේදාස රාජපක්ෂ මහත්තයා කියන්නේ හොඳ මනුස්සයෙක්.

“අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එනමං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහුව භාර ගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කරගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි. දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇදවැටීම ගැන අපි කනගාටුවට පත් වෙනවා.

මේ ජනාධිපතිවරණයේදී අපි සහයෝගය දෙන අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පොදුජන එක්සත් පෙරමුණ යටතේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ නිසා අපේ පක්ෂය නියෝජනය කරන සියලු දෙනා එතුමාට සහයෝගය දෙනවා.

“මේ රට පැවැති අර්බුදයෙන් ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සඳහා එතුමාට දැක්මක් සහ වැඩ පිළිවෙළක් තිබෙනවා. අපේ රටේ සියලු දිස්ත්‍රික්කවලින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් එතුමාට ලබා දීමට අපේ සියලු සංවිධායකවරුන් කටයුතු කරනවා. ඒ නිසා අද සිටම එම කටයුතු ආරම්භ කරන්නැයි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

බුද්ධිකා ඉඹුලාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here