24
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවලට ජනාධිපතිවරණයක පළමු අත්දැකීම ලැබුණේ 1983 ප්‍රථම ජනාධිපතිවරණයෙනි. මෙය එතෙක් පුරුදු පුහුණු වූ මැතිවරණ ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එකකි. විද්‍යුත් මාධ්‍යවල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කෙරුණේ ආසන මට්ටමෙන් එක් එක් මන්ත්‍රීවරයාගෙ නමටය. මෙම ජනාධිපතිවරණයේ සිට ප්‍රථම වතාවට ආසන මට්ටමෙන් ඒ ඒ ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශ කරන්නට සිදුවිය.
83 ජනාධිපතිවරණය සමඟ තවත් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් ක්‍රියාවට නැංවින. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකවරුන්ට විද්‍යුත් මාධ්‍යයේ සමාන ගුවන් කාලයක් බැගින් හිමිවිය.
එතෙක් රාජ්‍ය මාධ්‍යවල ඇබ්බැහිය වූයේ පවතින රජය වෙනුවෙන් ක්‍රියා කිරීම පමණි.
එවර ප්‍රධාන අපේක්ෂකයන් වූයේ එවකටත් ජනාධිපති ධුරය දරමින් සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබූ බැවින් ඇයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ලැබුණේ නැත.
සෙසු අපේක්ෂකයන් වූයේ කුමාර් පොන්නම්බලම්, කොල්වින් ආර් ද සිල්වා, වාසුදේව නානායක්කාර සහ රෝහණ විජේවීරය.
මෙම ජනාධිපතිවරණයේදී ජයවර්ධන මහතා සියයට 52.9 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. කොබ්බෑකඩුව මහතාට ලැබුණේ සියයට 39.09 කි. රෝහණ විජේවීර මහතා සියයට 4.19 කි. කුමාර් පොන්නම්බලම් මහතාට 2.9ක් ලැබුණේය. සෙසු අය සියයට එකකට වඩා අඩුවෙන් ය.
එකල ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අය, තරග වැදුනේ තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන්ය. මේ නිසා ජයග්‍රහණය කෙසේ වෙතත් තම මතය රටට කියාපෑම ඔවුන්ගේ අභිලාෂය විය.
මේ වන විට නම් තත්ත්වය වෙනස්ය. අපේක්ෂකවරුන් වැඩි වීම නිසා මැතිවරණ වියදම් වැඩිවෙනවා යයි මැසිවිලි නඟන්නට මැතිවරණ බලධාරීන්ට වර්තමානයේ සිදුව තිබේ. මේ ඇතැම් අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි නැත.
අසූ තුනේ මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන්ට සමාන ගුවන් කාල ලැබීම ගුවන් විදුලි සංස්ථාවට අලුත් දෙයක් විය. පක්ෂයේ සහ විපක්ෂයේ සියල්ලන්ට සමාන ලෙස පටිගත කරන පහසුකම සහ කාලය ලබා දෙන්නට ඕනෑය. ඒ නිසා මෙම පටිගත කිරීම් වෙනුවෙන් ගුවන් විදුලියේ හොඳම මැදිරි දෙකෙන් එකක් වූ අංක තුනේ මැදිරිය වෙන් කෙරිණ. ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකාවකට සියලු වගකීම් පැවරුනේය. දක්ෂ ක්‍රියාකාරී සහායකයින් පටිගත කරන ශිල්පීන් ලෙස යොදා තිබිණ.
ජනාධිපති අපේක්ෂකයන් ගුවන්විදුලි සංස්ථාවට පැමිණීම සංස්ථාවේ සේවකයන්ටද අසිරිමත් අත්දැකීමක් නිසා බොහෝ අය ඒ අසල ගැවසෙමින් අපේක්ෂකයන් දැක බලා ගැනීමට වෑයම් කළහ. සමහර අය තම ප්‍රියතම අපේක්ෂකයාට පෙනෙන්නට හිඳ දෑත් ඔසවා ආචාර කරන්නට බලා සිටියෝය.
එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් අවස්ථා කිහිපයක් ලැබෙයි. මේ නිසා කිහිප වතාවක් ගුවන්විදුලි කාර්යාලයට පැමිණෙන්නට මෙම අපේක්ෂකයන්ට සිදුවිය.
බොහෝ දෙනාගේ බලාපොරොත්තු බිඳ දමන සිදුවීමක් වූයේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම තමන්ගේ පටිගත කිරීම් සඳහා ගුවන් විදුලි සංස්ථාවට නොපැමිණෙන බව දන්වා සිටීමය. ඔවුන් දෙදෙනා තම කතා බාහිරින් පටිගත කර එවන්නට තීරණය කර තිබිණ.
කෙසේ වෙතත් සෙසු අපේක්ෂකයන් සියලු දෙනාම තමන්ට ලබා දුන් නියමිත වේලාවේදීම ගුවන්විදුලි සංස්ථාවට පැමිණියහ.
ඔවුන් පැමිණෙන විට මේ අය පිළිගෙන සුහද ලෙස කතාබස් කිරීමට ගුවන්විදුලියේ උසස් නිලධාරියෙක් පෙලඹී සිටියේය. ඒ කීර්තිමත් ගී පද රචකයෙකු සහ නිවේදකයෙකු වන සරත් විමලවීර මහතාය. අපේක්ෂකයෙකු මැදිරියට එන සෑම අවස්ථාවකම ඔහු ද මැදිරියට පැමිණෙයි. විමලවීර මහතාගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා පැමිණෙන සෑම අපේක්ෂකයකුම වගේ පෙරළා ඔහුට ද ගෞරව සම්පන්න ලෙස ආචාර සමාචාර කළේය.
නමුත් එක් අපේක්ෂකයෙක් විමලවීර මහතා හමුවීම හෝ ඔහුට පෙරළා අචාර කිරීම ප්‍රතික්ෂේප කර යන්නට ගියේය. ඒ රෝහණ විජේවීරය. රෝහණ විජේවීර මහතාට ගුවන්විදුලි බලධාරීන් සමඟ අමනාපයක් ඇතිකර ගන්නට ඕනෑ තරම් සාධාරණ හේතු තිබෙන්නට පුළුවන.
ඔහුට අනුව මෙය JRගේ රේඩියෝව විය හැකිය. ඒ දිනවල ජේ. ආර් ජයවර්ධන මහතාට ඉතාමත්ම ප්‍රබල ලෙස පහර ගැසුවේ ජනතා විමුක්ති පෙරමුණයි.
මේ නිසාම ජේ.ආර්. ජයවර්ධන මහතා වරක් අපූරු අභියෝගයක් කළේය. ඔහු කිසිවිටක රෝහණ විජේවීරගේ නම නිවැරදිව උච්චාරණය කළේ නැත.
“මම කැමතියි රොහාන් විජේවීර තරුණයාට කියන්න මා සමඟ ද්වන්ද සටනකට එන්න ගෝල්ෆේස් පිට්ටනියට. ඇවිල්ල පුළුවන්නම් මාව පරද්දන්න කියලා මම අභියෝග කරනව.”
ජනතා විමුක්ති පෙරමුණ ඊට පිළිතුරක් දුන්නා දැයි මට මතක නැත.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් බොහෝ දෙනෙකුට ගුවන් විදුලි කතා පිළිබඳ පළපුරුද්දක් තිබී නැත. ඒ අයට හුරු වේදිකාවය. ඇතැම් අපේක්ෂකයන් පොල් ගෙඩි අකුරෙන් තම පිටපත පුල්ස්කැප් කඩදාසිවල ලියාගෙන පැමිණි බව මෙම පටිගත කිරීම්වලට යොදා සිටි ශබ්ද තාක්ෂණ ශිල්පියකු වූ රංජිත් ජයමහ මා සමඟ කීවේය.
කඩදාසියක ලියූ දෙයක් කියවීමටද පුහුණුවක් තිබිය යුතුය. මේ නිසා බොහෝ වැරැදි සිදුවී තිබේ. එහෙත් සම්පූර්ණ පටිගත කිරීම අවසන් වනතුරු ඔවුන්ට රිසි පරිදි වරද්ද වරද්දා හෝ ඒ කාර්යය අවසන් කරන්නට කිසිවෙක් බාධා කළේ නැත. අවසන නියමිත කාල පරාසය තුළට සරිලන සේ සියල්ල සංස්කරණය කරනු ලබයි.
ජනාධිපතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟම, පැරණි මැතිවරණවල සේ ආණ්ඩුව පැරදුනොත් එකවර ලොකු වෙනසක් ඇතිවන්නේ නැත. රජය පාර්ශ්වයේ අපේක්ෂකයා පරාජය වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු, රජය එලෙසම තිබේ. මේ නිසා පාන්දර ජාමයේ අලුත් කණ්ඩායම් පැමිණ සියල්ල වෙනස් කරන්නට කටයුතු කරන්නේ නැත.
1970 හා 1977 මැතිවරණවලින් පසු ගුවන් විදුලියේ සේවකයන්ට එබඳු කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුව ඇත.
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ලැබෙන ගුවන් කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට එවක අපේක්ෂකයෝ බොහෝ සෙයින් උත්සාහ කළහ. එනිසා එම ගුවන් කාලයේ කිවයුතු නොකිවයුතු දේ පිළිබඳ ඔව්හු බොහෝ සෙයින් ප්‍රවේසම් වෙති.
එක්දහස් නවසිය අසූ නවය මැතිවරණයේදී ජනාධිපති ප්‍රේමදාස මහතා ගස්ලබු කතාව කීවේත් මෙම ගුවන් කාලය භාවිත කරමිනි.
තමාගේ ආර්ථික සැලසුම යටතේ සෙරෙප්පු නොදාන අයට සෙරෙප්පු දමන්නට හැකි වන බවත්, සෙරෙප්පු දමන අයට සපත්තු දමන්නට පුළුවන් වන බවත්, කුසගින්නේ සිටින අයට ආහාර වේලක් ලැබෙන බවත්, සාමාන්‍ය ආහාර වේලක් සපයා ගත හැකි අයට අතුරුපසක් ලෙස පලතුරක් අනුභව කිරීමට හැකිවන බවත් ඔහු කීවේය.
ඇතැමුන් එය උපහාසයට නැඟූවේ ප්‍රේමදාස දිනුවොත් ගස් ලබු කන්නට හැකි වෙනවා කියාය.
89න් පසුව ජනාධිපති අපේක්ෂකවරු සංඛ්‍යාව ඉහළ ගියේය. ඇතැම් අය අපේක්ෂකත්වය ලබාගත්තේ, කවර හෝ ප්‍රධාන අපේක්ෂකයෙක් වෙනුවෙන් ප්‍රතිවාදී අපේක්ෂකයන්ට පහර ගැසීමට බව ඇතැම් අය කීවෝය. එවිට භාවිත වන්නේ ඔහු වෙනුවෙන් නොමිලේ ලැබෙන ගුවන් කාලයයි. සමාජ මාධ්‍ය පෘථුල වූ මේ කාලයේ නම් එබඳු දෙයක් ප්‍රායෝගික නොවේ.
අසු තුනේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ කතා ගුවන් විදුලියට ලැබුණේ බාහිර පටිගත කිරීම් ලෙසය. හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් පවත්වන ලද කතා සියල්ල අධීක්ෂණය කරන ලද්දේ සුප්‍රකට සිනමා නළු විජය කුමාරතුංග මහතා විසින් බව ඒ දිනවල කියැවිණි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කතාව පටිගත කිරීමට සිදුවූයේ ගුවන්විදුලි නිලධාරීන්ටමය. ඒ සඳහා එතුමාගේ පෞද්ගලික නිෙවසට යාමට සිදුවිය. පටිගත කිරීම භාරව ගියේ ගුවන් විදුලිය තුළ ජනාධිපතිතුමාගේ කටයුතු හාර නිලධාරියා වූ කේ. ඩබ්ලිව්. කොටිගල මහතාය. පටිගත කිරීම් නිලධාරියා රංජිත් ජයමහය.
ජයවර්ධන මහතා තමාට ලැබී තිබුණු කාලය තුළ කතා කළේ කිසිම කඩදාසියක් නැතිවය. ඉංග්‍රිසි කතාවේ කිසි වරදක් තිබුණේ නැත. නමුත් සිංහල කථාව; පටිගත කළ අවස්ථාවේ ගැටලුවක් සේ නොපෙනුනත් පසුව කුකුසක් ඇතිවන කාරණයක් නිරීක්ෂණය විය. ජනාධිපතිතුමා කියා ඇත්තේ, ‘කැන්ඩල් එක දෙපැත්තෙන් පත්තු කරන්නට බෑ කියාය.’
ජනාධිපතිවරයෙකු විසින් කරනු ලබන මෙබඳු වැදගත් ප්‍රකාශයක දී; ඉටිපන්දම යන වචනයට ඉංග්‍රීසි වචනය යෙදීම නුසුදුසු යැයි ගුවන්විදුලි බලධාරීහු කල්පනා කළහ. ඒ අනුව බොහෝ බියෙන් සැකෙන් ජනාධිපතිවරයාට යළි කතා කොට වෙලාවක් ලබා ගැනීමට කොටිගල මහතා ක්‍රියා කළේය.
මුළු කතාවම ආපහු කොරන්ඩ ඕනා දැයි ජනාධිපතිවරයා අසා තිබේ.
Òනෑ සර් කැන්ඩල් එක දෙපැත්තෙන් පත්තු කරන්න බෑ කියන වාක්‍ය විතරක්- ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරන්න බෑ කියලා; කියලා දෙන්න.Ó
රංජිත් ජයමහ කීවේය.
එතුමා ඒ විදිහට කීවේය. අද මෙන් පරිගණක තාක්ෂණ පහසුකම් නොමැතිව වුවත්, කෙසේ හෝ වෙනසක් නොවන පරිදි එම කොටස එතුමාගේ මුල් කතාවට ඇතුළත් කෙරින. සිද්ධිය ටික කලක් රහසක්ව තිබිණ.
කරන්නට බැරි යැයි ජයවර්ධන ජනාධිපතිවරයා මීට කලින් කියා තිබුණේ ගැහැනියෙක් පිරිමියෙක් කිරීමත් පිරිමියෙක් ගැහැනියෙක් කිරීමත්ය. ඒ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය.
ව්‍යවස්ථාව කෙසේ වෙතත් දැන් ගැහැනු පිරිමි වීමත්, පිරිමි ගැහැනු වීමත් පිළිබඳ ප්‍රවෘත්ති ඕනෑ තරම්ය.
ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරන්නට බැහැ කියන එකත් දැන් වෙනස් වෙලාය. මේ කාලය වන විට හුඟක් ඉටිපන්දම් දෙපැත්තෙන්ම පත්තු වෙලාය.
චන්දන තිලකරත්න