Home Politics News Room : ජනපති සටන් හා මුස්ලිම් දේශපාලන පක්ෂ

News Room : ජනපති සටන් හා මුස්ලිම් දේශපාලන පක්ෂ

1
0

මෙරට දේශපාලනය තුළ මුස්ලිම් දේශපාලනය මුල සිටම පැවරුවේ ජාතික දේශපාලනය සමාජ බද්ධවය. එජාපය සහ ශ්‍රීලනිපය සමඟ එහෙත් ඒ තත්ත්වය වෙනස් වන්නේ 1988න් පසුවය. එතැනින් ආරම්භ වන්නේ මුස්ලිම් දේශපාලනයේ වෙනත් යුගයකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එහි ප්‍රතිඵලයයි. 1988 දී බිහිවූ මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය දැරුවේ අෂ්රොෆ් මහතාය. ඔහු මුලදී ශ්‍රීලනිප සමඟ දේශපාලනය කළ අතර පසුව රණසිංහ ප්‍රේමදාස මහතාට සමීප විය. 1977 ජනාධිපතිවරණයේදී ඔහුගේ මැදිහත්වීම සමස්ත ප්‍රතිඵලයටම විශාල බලපෑමක් එල්ල කළේය. එතැන් සිට ජනාධිපතිවරණවලදී මුස්ලිම් කොංග්‍රසය හා මුස්ලිම් පක්ෂවල බලපෑම බලවත් ලෙස බලපෑමක් එල්ල කළේය.

මේ මෙරට දේශපාලනය තුළ ජනාධිපතිවරණය හා මහා මැතිවරණවලදී මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ සිදුකළ බලපෑම පිළිබඳ සිදුවීමකි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණුදා සිටම දෙමළ දේශපාලන පක්ෂ රටේ බලතුලනය සඳහා ප්‍රබල බලපෑමක් එල්ල කළ නමුත් 1977 වසර වන තුරුම මුස්ලිම් දේශපාලනඥයන් ඒ සඳහා තනිව කටයුතු කරන ආකාරයත් දැකගත නොහැකි විය. ඒ අනුව මුස්ලිම් දේශපාලන නායකයන් දේශපාලනයට අවතීර්ණ වී ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ හරහාය.

1947 සිට පැවති සෑම මැතිවරණයකදීම පාහේ සැලකිය යුතු මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූ බව සඳහන් කළ යුතුය. 1960 සිට ආරම්භ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මුස්ලිම් සමාජයට අනෙක් කිසිදු දේශපාලන පක්ෂයකින් නොලැබෙන ආකාරයේ පිළිගැනීමක් ලැබුණු බව සඳහන් කළ යුතුය. ප්‍රධාන දේශපාලන පක්ෂයක ජාතික නායකත්වයක් සුළු ජාතික නායකයකුට මුලින්ම ලැබුණේ බදියුදීන් මහමුද් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තනතුරට පත්වීමෙන් බව සිහිපත් කිරීම වැදගත් වේ. එපමණක් නොව 1970 සමගි පෙරමුණු රජයේ අධ්‍යාපන ඇමැති ධුරය බදියුදීන් මහමුද් මහතාට ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මුස්ලිම් සමාජය අතර එම කාල පරිච්ඡේදයේ තිබූ සම්බන්ධතාවයේ තරමය. ඔහුට පෙර අධ්‍යාපන ඇමැති ධුරය හෙබවූයේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර , ඊ.ඒ. නුගවෙල , පී.බී.ජී. කළුගල්ල හා අයි.එම්. ආර්. ඒ. ඊරියගොල්ල වැනි ප්‍රධාන සිංහල දේශපාලකයන් බව පිළිගන්නා තත්ත්වයක් තුළ 1970 සමගි පෙරමුණු රජයේ මේ තීරණය බරපතළ දේශපාලන තීරණයක් වූ බව පිළිගැනීම වැදගත් නොවේ.

කෙසේ වුවද 1948 නිදහසට පෙර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පැවති ඇතැම් සාකච්ඡාවලදී මුස්ලිම් ජන කණ්ඩායම දෙමළ භාෂාව කතා කරන කාණ්ඩයක් ලෙසින් දෙමළ දේශපාලනයක් සමඟ බැඳී සිටිය යුතු බව යෝජනා කරමින් ඒ වෙනුවෙන් උත්සාහ කළේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. මෙය ජී.ජී. පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා දෙමළ සංගමයත්, චෙල්වනායගම්ගේ ෆෙඩරල් පක්ෂයත් පිළිගත් තර්කය විය. දෙමළ භාෂාව කතා කරන ජන වර්ගය එකක් ලෙසින් විශාල කර පෙන්වීමේ දේශපාලන ක්‍රියාදාමයට මුස්ලිම් ජනතාවත් එක්කර ගණන් ගැනීමේ උත්සාහයට මේ රටේ මුස්ලිම් දේශපාලනයට මුලදීම එල්ලවූ අභියෝගයක් බව සඳහන් කිරීම යෝග්‍ය වේ. ඒ අනුව 1976 වසර වන විට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නමින් නව සංවිධානයක් ගොඩනගන ලද්දේ සමස්ත ලංකා දෙමළ සංගමයත් ෆෙඩරල් පක්ෂයත් එකතු කිරීමෙනි. මොවුන් 1977 මැතිවරණයට තරග කරන ලද්දේ මුස්ලිම් ජාතිකයන් යනු දෙමළ කතා කරන ජන කොටසක් නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු යැයි තර්කය මත පදනම්වය. ඒ අනුව පසුකාලීනව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ එම්. එච්.එම්. අෂ්රොෆ් මහතා ද 1977 මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේය. ඔහු ෆෙඩරල් පක්ෂයේ වේදිකාවේ ද කතා කළ අතර 1976 මැයි මාසයේදී ඓතිහාසික වඩුක්කෝඩෙයි සම්මේලනයට ද සහභාගි වී සිටියේය. අෂ්රොෆ් 1977 මැතිවරණයේදී තරග නොකළ නමුත් ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවල නිරතවූ අයෙකි. මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ නැඟෙනහිර පළාතේ මන්ත්‍රී ආසන තුනක් හැරෙන්නට අනෙක් ඒවාය් බහුතරය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇති බවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කර නොතිබුණ බවත්ය. මෙම තත්ත්වය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ අෂ්රෆ්ගේ සම්බන්ධතා ක්‍රමයෙන් අඩාල වීමට හේතු විය.

1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් දෙමළ අපේක්ෂයින් ඡන්දයට ඉදිරිපත් විය. මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක හතරේම මුස්ලිම් ජාතිකයන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් එම ප්‍ර‍ෙද්ශවලින් මුස්ලිම් අපේක්ෂයන් ඉදිරිපත් කිරීමට අෂ්රොෆ්ට අවශ්‍ය විය. ඒ අනුව දෙමළ හා සිංහල දේශපාලනයෙන් ස්වාධීනව වෙනම දේශපාලන ගමනක් මුස්ලිවරුන්ට අවශ්‍ය බව අෂ්රෙෆ් තේරුම් ගත්තේය. ‍ෙම් නිසා ඔහු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් වෙන්වී නව දේශපාලන පක්ෂයක් ගොඩනැඟුවේය. 1981 සැප්තැම්බර් 21 වැනි කාත්තන්කුඩි හිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගොඩනැඟුවේය. මෙය මුස්ලිම් ජනතාවගේ දේශපාලන ප්‍රශ්නවලට වඩා සමාජ සංස්කෘතික කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන නැඟෙනහිර සංවිධානයක් වූයේය. කෙසේ නමුත් පක්ෂය ආරම්භ කරන ලද මුල් කාලයේ මුස්ලිම් ප්‍රජාව තුළ පක්ෂය කෙරෙහි ප්‍රසාදයක් නොවීය. ඔවුන්ගේ පිළිගැනීම තිබුණේ ප්‍රධාන වශයෙන් දෙමළ පක්ෂ වටාය. නමුත් 1985 දී කල්මුණේ සහ අවට ප්‍ර‍ෙද්ශවල මුස්ලිම් ජනයාට එල්ලවූ කොටි ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ඒ තත්ත්වය වෙනස් විය. අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට නැඟෙනහිර මුස්ලිම් ජනයා තුළ පක්ෂයක් වශයෙන් පිළිගැනීමක් ලැබුණි. ක්‍රමයෙන් දෙමළ පක්ෂවලින් මුස්ලිම් ප්‍රජාව ඈත් වූ අතර පසුකාලීනව මුස්ලිම් කොංග්‍රසයේ සභාපති වශයෙන් කටයුතු කළ බෂිර් සේගු දාවුද් පවා දෙමළ දේශපාලන පක්ෂවලට සමුදුන්නේ මේ කාලයේදීය.

අෂ්රොෆ් ක්‍රමයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දිවයිනේ ප්‍රචලිත පක්ෂයක් බවට පත් කිරීමට, පක්ෂ ව්‍යවස්ථාව නැවත සකස් කිරීමට කටයුතු කළේය. මැතිවරණ කොමසාරිස් විසින් 1988 පෙබරවාරි 11 දින නිල වශයෙන් පක්ෂයක් බවට පිළිගත් අතර පක්ෂයේ ලාංඡනය “ගස“ සලකුණ ලෙස පිළිගන්නා ලදි. අෂ්රොෆ්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1988 දී පළාත් සභා මැතිවරණයට තනිවම තරග කළ අතර එහිදී ඡන්ද 168,038 ක් ලබා ගනිමින් ආසන 17ක් දිනා ගන්නා ලදි. එවකට අගමැතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා 89 මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන මෙන් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉල්ලා සිටියේ මුස්ලිම් කොංග්‍රසය ලැබූ එම ජයග්‍රහණය නිසාය. ප්‍රථම වරට ජාතික පක්ෂයට සහාය පළකරමින් අෂ්රොෆ් මහතා කොන්දේසි කිහිපයක් ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉටුකරගත්තේය. එම මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය රට පුරා ඡන්ද 202016ක් ලබා ගනිමින් ආසන හතරක් දිනා ගත්තේ පක්ෂ නායක අෂ්රොෆ්ට ද, පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ප්‍රථම වරට අවස්ථාව උදාකර දෙමිනි. ඉන් පසු කාලීනව පැවති පළාත් සභා මැතිවරණවලදී මුස්ලිම් කොංග්‍රසය අත්කරගත් ජයග්‍රහණය හේතුවෙන් කේවල් කිරීමේ බලවත් පක්ෂයක් බවට වර්ධනය වූ බව සඳහන් කළ යුතුය.

1989 වසරේ සිට 1994 වසර දක්වා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කළ අතර අනතුරුව අෂ්රොෆ් මහතා සහ චන්ද්‍රිකා මැතිනිය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. ඒ අනුව 1994 මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය පොදුජන එක්සත් පෙරමුණට සහාය දැක්වීමට එකඟ වී පොදුජන එක්සත් පෙරමුණට බලය ගෙන ඒමට කටයුතු කරන ලද අතර එම මැතිවරණයෙන්‍ ආසන 07ක් දිනා ගැනීමට හැකි විය. එම රජයෙන් ප්‍රබල අමාත්‍ය ධුරයක්ද අෂ්රොෆ් මහතාට හිමිවිය. විවිධ කොන්දේසි මත 1999 ජනාධිපතිවරණයේදී සහ 2000 මහ මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගත වී මුස්ලිම් කොංග්‍රසය තරග කළේය. නමුත් 2000 වසරේ සැප්තැම්බර් 16 සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රොෆ් මහතා ජීවිතක්ෂයට පත්විය.

ඔහුගේ මරණයෙන් පසුව පක්ෂ නායකත්වයට පත්වූයේ රවුෆ් හකීම් මහතාය.

මුස්ලිම් කොංග්‍රසය හකීම්ගේ නායකත්වයෙන් 2002 හා 2004 මහමැතිවරණවලදී සහ 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්විය. නමුත් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ පසු මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී .ල.නි.ප.යට එක්විය. එම ආණ්ඩුව යටතේ දැරූ අමාත්‍ය ධුර අත්හල මුස්ලිම් කොංග්‍රසය 2006 දී නැඟෙනහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරිපත් වූයේ ත්‍රික්‍රණාමලය දිස්ත්‍රික්කයට පක්ෂ නායක රවුෆ් හකීම් ද අම්පාර දිස්ත්‍රික්කයට පක්ෂ සභාපති බෂිර් සේගු දාවුද් සහ මඩකලපුවට මහ ලේකම් හසන් අලි යන මහත්වරුන් අපේක්ෂකයන් වෙමිනි. පළාත් සභාවේ ජයග්‍රහණයෙන් පසු නැවත මොවුන් 2008 වර්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. මේ කාලය වන විට රිෂාඩ් බදියුදීන් ප්‍රමුඛ කණ්ඩායමක් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් වී වෙනම පක්ෂයක් පිහිටුවාගෙන තිබුණි. එමෙන්ම 2008 වසරේදී කොංග්‍රසයෙන් ඉවත් වූ හිස්බුල්ලා මහතා, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්විය. මේ අනුව අෂ්රොෆ් මහතාගේ කාලය තුළදී කිසිදු පාක්ෂිකයෙක් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් වී පක්ෂයට අභියෝග නොකළ අතර හකීම් මහතාගේ නායකත්වයෙන් පසු පක්ෂය කල්ලි, කණ්ඩායම් කිහිපයකට කැඩී ගියේය. පසුගිය කාලයේදී මුස්ලිම් කොංග්‍රසය මුහුණ දුන් සෑම ගැටලුවක් පිටුපසම නායකත්වයේ බලඒකාධිකාරිය සඳහා මෙහෙය වෙමින් පැවති බව දේශපාලන විචාරක මතයයි.

රට පුදුමයට පත් කරවමින් මුස්ලිම් මන්ත්‍රීවරු ගන්නා ඊළඟ තීරණය කුමක්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකිය. කෙසේ වුවද ඉතිහාසය පිළිබඳව අධ්‍යයනයේදී මුස්ලිම් මන්ත්‍රීවරුන් වැඩි කාලයක් විපක්ෂයේ සිටීමට අකමැති බව පෙනී යන කරුණක් වන අතර අනාගතයටත් එම ජන මතය වලංගු බව පැහැදිලි වේ.

පී. පද්මනාදන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here