23
රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළේ සාක්ෂිකරුවන් බවට පමණක් පත් නොවී රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළේ නියමුවන්, නායකයන්, කොටස්කරුවන් බවට පත්වී රට දිනවන අලුත් ගමනට සියලු දෙනාගේම ශක්තිය දෙන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානකරන ජන රැලි මාලාවේ මංගල රැලිය පසුගියදා (16) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති අවස්ථාවේදීය.
‘සැමට ජයක් – සමගි රටක්’ තේමාවෙන් මේ රැලිය සංවිධාන කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
“රට ගොඩගන්න වැඩපිළිවෙළේ සාක්ෂිකරුවන් බවට පමණක් පත් නොවී රට ගොඩගන්න වැඩපිළිවෙළේ නියමුවන්, නායකයන්, කොටස්කරුවන් බවට පත්වී රට දිනවන අලුත් ගමනට සියලු දෙනාගේම ශක්තිය දෙන ලෙස ඉල්ලා සිටිනවා.
ප්‍රායෝගික ප්රගතිශිලී විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් කතා කළා. දුෂණය වංචාව තුරන් කරන්න, සමගි බුද්ධි මණ්ඩපය, සමගි නීතිඥ සංගමය දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම විපක්ෂයක් ලෙස රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගොස් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට වන තීන්දුව ගන්න හැකියාව ලැබුණා. රටට අහිමි කළ සම්පත් නැවත ගැනීමට පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා.
සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කිසිම දවසක හොරුත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ නෑ. හොරුන්ගේ රැකවලා සමඟ ගනුදෙනුත් නෑ. රටේ තිබෙන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තබා වරදාන වරප්‍රසාද, මන්ත්‍රී ධුර විකුණන යුගය සමගි ජන බලවේගයේ රජයක් තුළ නතර කරන්න කටයුතු කරනවා.
සමගි ජන සන්ධානයට පැමිණි කිසිම මන්ත්‍රීවරයෙක් ඇමැති ධුර, වරදාන වරප්‍රසාද ඉල්ලුවේ නෑ. ඒ සියලු දෙනා එකතු වුණේ ප්රතිපත්තිගරුකවයි. වරදාන, වරප්‍රසාද සඳහා මුදල් වෙන් කරන්න අපට මුදල් නෑ. අපි ළඟ තිබෙන මුදල් වෙන් කරන්නේ රටේ සක්වළ සහ හුස්ම වැඩසටහන්වලට පමණයි.
රටක් ගොඩනඟන්න නම් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. රජයක් තුළ ඉහළින් පහළට අදහස් ගලා යෑම මෙන්ම පහළින් ඉහළට ද අදහස් ගලා යෑමක් සිදු විය යුතු වුවත් අද රටේ සිදු වන්නේ ඉහළින් පහළට අදහස් ගලා යන චෞර තස්ත්රවාදයයි. පැය 24ම සතියේ දින 7ම දින 365ම දූෂණය, හොරකම, වංචාව, අල්ලස රටේ ක්‍රියාත්මක වෙනවා. රටේ සෑම ගනුදෙනුවකම හොරකම ගැබ්වෙලා තිබෙනවා. වීසා ගනුදෙනුව, පුනර්ජනනීය බලශක්ති ගනුදෙනුව, තෙල් ගනුදෙනුව ආදී ඕනෑම ගනුදෙනුවකින් හොරා කෑ සල්ලි ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය ශක්තිමත් කරන්න යොදාගෙන තිබෙනවා.
මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා, ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතුවී තිබෙන්නේ ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කරන්න. සංවර්ධනය හා දියුණුව ලෙස සමගි ජන බලවේගය අදහස් කරන්නේ ලක්ෂ 220ක් ජනතාවගේ සංවර්ධනයයි. දියුණුව ලෙස ඉලක්කම් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නෑ. එය සෑම පුරවැසියකුටම දැනිය යුතුයි. ඒ රටේ සුබසාධනයේ ප්‍රතිලාභය ජනතාව භුක්ති විඳිය යුතුයි.
අද වරදාන, වරප්‍රසාද සියල්ල භුක්ති විඳින්නේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව. ලක්ෂ 220ක් ජනතාව අනාථ කර මැතිවරණ සමයේ බොරු උප්පරවැට්ටි, පොරොන්දු ඉදිරිපත් කර මෙවරත් රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්න සූදානම් නෑ. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ගොඩනඟන ආණ්ඩුවෙන් මෙරට ප්‍රශ්නවලට විසඳුම් සපයන්න සූදානම්. ආර්ථිකය ඝාතනය කළ අය සහ ආර්ථික ඝාතනය හරහා රට විනාශ කළ අවස්ථාවක රට ගොඩ ගන්න, රට ශක්තිමත් කරන්න සංවර්ධනයේ අරුණලු දෙන්නත් අපි සූදානම්.
විපක්ෂයේ සිට සක්වළ සහ හුස්ම හරහා ජනතාවට සේවය කළ ආකාරයෙන්ම බලයට ලැබුණු පසු ජනතාව වෙනුවෙන් සේවාවක් ඉටු කරනවා. මේ සෑම දෙයක්ම කළේ රජයේ මුදලින් නොව ප්‍රදාන සහ ආධාරවලින්. මේ රට ගොඩනඟන්න ඍජු විදේශ ආයෝජන අවශ්‍යයි. සක්වළ සහ හුස්මින් හොර, බොරු, වංචා, අල්ලස් සිදු නොවූ නිසා විශාල පිරිසක් මේ සඳහා උදව් දෙන්න සිටිනවා. අරගලයන් පසු දේශපාලනඥයන් විශ්වාස නොකිරීමට ජනතාව පෙළඹිලා තිබෙනවා. නමුත් වෙනත් දේශපාලනඥයන් මෙන් නොව සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටු කළා. මහ බැංකුව ස්වාධීන කිරීමේදී, අල්ලස් දූෂණ පනතට වඩා නව පනතක් ගෙනැවිත් දූෂණය වළක්වා ගැනීමේදී පවා සමගි ජන බලවේගය සුවිශාල සේවාවක් ඉටු කළා.
ඒ වගේම මේ රටට අවශ්‍ය කයිවාරුකාරයන් නොව වැඩ කරන පිරිසක්. මේ රටට අවශ්‍ය සංදර්ශන නොව සංවර්ධනයයි. එම නිසා කියන දේ කරන, කතාව මහ පොළොවේ යථාර්ථය බවට පත් කරවන සංවර්ධන යුගය බිහි කරන්න අපි කැප වෙනවා. සුහුරු තාක්ෂණයෙන් සෑම ක්ෂේත්රයක්ම සවිබලගන්වන්න අපි කටයුතු කරනවා. නව දැනුම, ක්‍රමෝපාය සහ තාක්ෂණ උපකරණ දී නිෂ්පාදන ධාරිතාව වර්ධනය කර රටේ ආර්ථිකය වර්ධනය කරනවා. පෞද්ගලික ව්‍යවසායකයන් ශක්තිමත් කරමින් සියලුම කර්මාන්ත සුහුරු කර්මාන්ත බවට පත් කරනවා. කර්මාන්ත සඳහා අවශ්‍ය නව තාක්ෂණය සහනාධාරයක් ලෙස දෙනවා. නව තාක්ෂණය අධ්‍යාපනයට එකතු කර අධ්‍යාපනය ගොඩනඟනවා. නව තාක්ෂණයෙන් සහනාධාර දෙන්නේ ජනතාවට දියුණු ෙවන්න පුළුවන් අවස්ථා ලෙසයි. ඒ වගේම නව තාක්ෂණ දැනුම, උපකරණ දී නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරන්නත් කටයුතු කරනවා.
ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස ක්‍රියාත්මක කළ රටට වැඩදායී වූ සියලුම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රටේ ලක්ෂ 220 ක් වූ ජනතාව රැකගන්නට මමත්, මගේ කණ්ඩායමත් කටයුතු කරනවා. මාත් සමඟ විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන් සිටිනවා. මාත් සමඟ ඉන්න දක්ෂ කණ්ඩායම වෙන කාටවත් නෑ. මාත් එක්ක ඉන්න කණ්ඩාය, වරදානම වරප්‍රසාදවලට එකතු වූ කණ්ඩායමක් නෙවෙයි. සියලු දෙනාටම ආරාධනා කරනවා අපත් සමඟ අත්වැල් බැඳගෙන අපේ රට ගොඩගන්න එකතු වෙන්න එන්න කියලා. ඒ යුතුකම අනිවාර්යයෙන් රටේ ඉන්න ලක්ෂ 220 වෙනුවෙන් ඉටු කරන බව මම ප්‍රකාශ කරනවා.”
රක්ෂණ ශ්‍රියන්ත සහ
කුරුණෑගල සුනිල් එස්. පැල්ලන්දෙණිය