41
1982 ජනාධිපතිවරණයේදී තරග කළ අපේක්ෂකයන් රැසකි. ජේ.ආර්. ජයවර්ධන, හෙක්ටර් කොබ්බෑකඩුව, වාසුදේව නානායක්කාර, කොල්වින් ආර් ද සිල්වා, රෝහණ විජේවීර, පී.පී. පොන්නම්බලම් එම අපේක්ෂකයන්ය. එදා දේශපාලනයේ ජය කෙහෙළි නැංවූ විවාද සම්පන්න චරිත වූ මොවුන්ගෙන් අද ජීවතුන් අතර සිටින්නේ වාසුදේව නානායක්කාර මහතා පමණි. ඔහුද පසුගියදා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව විශ්‍රාමික දේශපාලන ජීවිතයකට එළැඹ සිටී. මේ අප මුල්ම ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් අතරින් ජීවතුන් අතර සිටින එකම ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන ගමන් මඟ පිළිබඳ සටහනකි.
1935 වසරින් ඇරඹි සූරියමල් ව්‍යාපාරයේ දේශපාලන ප්‍රකාශනය ලෙසින් ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වී වසර 85ක් සපිරෙන මෙම කාලය වන විට එහි ආරම්භක නායකයන් සියල්ල ජීවිතවලින් සමුගෙන ඇති අතර, එහි ඊළඟ පරම්පරාවේ අද ජීවමාන ප්‍රමුඛ වමේ නායකයා වන්නේ වාසුදේව නානායක්කාර සහෝදරයා යි.
දකුණු පළාතේ ඉඩම් හිමි ව්‍යාපාරික ප්‍රැන්සිස් නානායක්කාර සහ අයිරින් නානායක්කාර යුවළට දාව වැඩිමහල් පිරිමි දරුවා ලෙසින් මෙලොව එළිය දුටු වාසුදේවයන් UNP යට සම්බන්ධව සිට එම පවුලේ ග්‍රහණයෙන් මිදී ප්‍රායෝගික දේශපාලනයට පිවිස ඇත්තේ 1960 මාර්තු මැතිවරණයේදී නීති විද්‍යාල සිසුවකු ලෙසට සමසමාජ පක්ෂයට සම්බන්ධ වෙමිනි. එදා මෙදා තුර වාසුගේ ගමන් මග දෙස ආපසු හැරී බැලීමේ දී ගනු ලැබූ දේශපාලන තීරණයන්, ක්‍රියාකර ඇති අවස්ථාවන් රාශියක් පවතින මුත් ඔහු සමසමාජ දේශපාලන ධාරාවෙන් වෙනත් දේශපාලන මගකට පිවිස නොමැත. ඔහු සැමදාම ප්‍රතිපත්තියෙන් බැහැර නොවීය. මේ පිළිබඳව ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ 20 වෙනි සංවත්සරයට සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත.
“වාසු ආණ්ඩුව පැත්තෙන් ඉවත් වෙලා විපක්ෂයේ වාඩි ගත්තා. මතක හැටියට අමාත්‍යාංශ උපදේශකයෙක් හැටියට වාසුදේව වැඩ කළා. එතුමා එහෙම කළේ රාජ්‍ය සම්පත් රැක ගන්න වාසුට තිබුණ කැමැත්ත නිසා. ඒ වෙලාවෙ ගොඩ දෙනෙක් කිව්වා වාසුදේව පැත්ත මාරු කළා කියලා. නමුත් වාසු එතැන සිටියා. ආණ්ඩුව තමයි පැත්ත මාරු කරලා තිබුණේ. වාසු එක තැන වාසය කළා. පක්ෂය මාරු කළේ දේශපාලන පක්ෂය සහ ආණ්ඩුවයි.” වාසු 1970 සිට මේ දක්වා කිරිඇල්ල (ඇහැළියගොඩ) මැතිවරණ බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. අද පාර්ලිමේන්තු දේශපාලනයේ එවැනි සමකාලීනයකු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණි. මේ රටේ දේශපාලනඥයන් බහුතරයකට දූෂණ වංචා හෝ අපරාධ පිළිබඳ චෝදනා එල්ල වී ඇත. එහෙත් කුමන විරුද්ධවාදියකුටවත් මොහු වෙත එවැනි කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකි වී ඇත. ඔහු එපමණකටම සිය පෞද්ගලික හා දේශපාලන ජීවිතයේ දී සමාජ විරෝධී ක්‍රියාවන්ට නතු වී නොමැති අතර ඒවාට එරෙහිව සිය ජීවිතය පුරා කටයුතු කර ඇත. තරුණ නීතිඥයකු ලෙසට සම සමාජ දේශපාලනයේ නියැළි වාසු සහෝදරයාට එම පක්ෂය විසින් 1970 මැතිවරණයේදී කිරිඇල්ල මැතිවරණ කොට්ඨාසයට තරග කිරීමේ අභියෝගය ලබා දුන් අතර එම මැතිවරණයේදී වැඩි ඡන්ද 6188කින් ජයගත් වාසු 1989, 1994, 2010, 2015 සහ 2020 මැතිවරණවලදී එම ජනතාව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කර ඇත. අදටත් එම ජනතාව තම නායකයාට දක්වන්නේ ගෞරවය මුසු ආදරයක් සහ ලැදියාවකි.
1971 දී ජ.වි.පෙ. කැරැල්ල හේතුවක් ලෙස යොදා ගනිමින් ප්‍රතිගාමීත්වයේ ගොදුරක් වී සිරගත කළ වාසු මාස 14ක් ඉතා කටුක දුෂ්කර කාලයක් රැඳී සිටියදී වත්මන් දේශපාලකයන් මෙන් වෛද්‍ය හේතූන් දක්වා සහන ඉල්ලා සිටියේ නැත.
1976 – 11 – 12 දින පේරාදෙණිය සරසවියේ වීරසූරිය ශිෂ්‍ය ඝාතනයට එරෙහිව ගරු අගමැතිනිය ඉදිරියේ විරෝධය දැක්වීමට මල්වඩමක් තැබීම, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි දැමීම, 1980 ජූලි වර්ජනයට නායකත්වය දෙමින් සත්‍යග්‍රහයක යෙදීම, 1983 දී ජේ.ආර්. ජයවර්ධන රජයේ මර්දනයට ලක් වී පක්ෂ තහනම මත දුටු තැන ඇල්ලීමේ වරෙන්තුවක් මඟ හැරීමට වසරකට ආසන්නව සැඟවී සිට දේශපාලනය කිරීම, එජාප රජයේ කුඹුරු පනත සංශෝධනයට එරෙහිව සෙංකෝලය ඔසවාගෙන ගොස් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම නතර කිරීම, දේශපාලන ගමන් මගේ මංසළකුණු විය. මේ සෑම විටම ආණ්ඩුවේ මර්දනයට ලක්වීමටත් පොලිස් මර්දනයට මුහුණදීමටත් සිරගත වීමටත් සිදු විය.
1970 සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුළ සුවිශේෂී අවස්ථාවන්හිදී වාසුදේව කර ඇති කතා ඉතා හරවත් මෙන්ම ප්‍රතිපත්ති ගරුක බවට දෙපාර්ශ්වයේම ප්‍රශංසා ලැබීම මගින් සනාථ කරයි.
1980 දශකයේ ආණ්ඩුවලට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා කතරගම පාද යාත්‍රාව යෝජනා කළ ද පක්ෂයෙන් ඊට නිසි ප්‍රතිචාරයක් නොවීය. කතරගම පාද යාත්‍රාව, ජන ඝෝෂා, මිනිස් දම්වැල් වැනි ව්‍යාපාර වෙනුවෙන් එදා මහින්ද මහතාට සිටි ප්‍රමුඛ සටන් සගයා වූයේ වාසු සහෝදරයාය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මහින්ද මහතා විය යුතු යයි පළමු වරට ප්‍රසිද්ධියේ කියා සිටියේ ද වාසුය.
2010 රජයේ ප්‍රථම වරට කැබිනට් අමාත්‍ය ධුරයකට පත් වූ පසු ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමැති ලෙසට වාසු සහෝදරයා විශාල කාර්ය භාරයක් සිදු කළේ කුමන හෝ වගකීමක් නිසි ලෙසට ඉටු කරන බවට පසක් කරමිනි. අමාත්‍යවරයා ලෙස එක් වරක් කැනඩාවට නිල ගමනක යෙදිණි. ඒ සඳහා රජය මඟින් ලබාදුන් ලක්ෂ ගණනක මුදලින් හරි අඩක් ඔහු නැවත මෙරටට පැමිණ රජය වෙත ලබාදීම ඇමැතිවරයෙකුගෙන් අපේක්ෂා කළ හැකි කටයුත්තක් ද යන්න විමසීම වැදගත්ය.
එජාප මෙන්ම චන්ද්‍රිකා පාලන කාලයන් තුළදී කුණු කොල්ලයට තම හිතවතුන් වෙත රාජ්‍ය දේපළ විකුණා තිබූ අතර ඒ අතුරින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආපසු ලබා ගැනීමට අධිකරණයට ගොස් කටයුතු කළේ වාසුය. එමෙන්ම තෙල් සංස්ථාව, වරාය අධිකාරිය සතු විකුණා තිබූ ඉඩම් ඇතුළු දේපළ නැවත ජනතාව සතු කිරීමට අධිකරණය හරහා කටයුතු කළේ ද වාසුය. මෙසේ ලබාගත් දේපළ බිලියන ගණනක් වටිනාකම සහිත විය.
වාසුගේ දේශපාලනයේ බොහෝ රස කතා පවතී. 1970 රජයේ අධිකරණ සහ ක්‍රම සම්පාදන ඇමැති වූයේ රදළ පෙළපතකට අයත් ෆීලික්ස් බණ්ඩාරනායක මහතායි. දිනක් ඔහු හමුවීමට වාසු එම නිවසට ගිය විට ඇමැතිවරයා නොසිටි අතර, සහායකයකු පවසා ඇත්තේ “ලොකු හාමුදුරුවෝ” නොමැති බවයි. ඇමැතිවරයාගේ බිරිඳ පිළිබඳව විමසීමේදී “පොඩි හාමුදුරුවෝ” නොමැති බව පවසා ඇත. මෙම ඇමතුම් පිළිබඳ නොසතුටට පත් වාසු ආපසු යෑමට සැරසීමේදී “කවුරු ආව කියලද කියන්නේ” යනුවෙන් සහායක විමසූ විට “කිරිඇල්ලේ බුදු හාමුදුරුවො ආව කියලා කියන්න” යනුවෙන් වාසු කී බව ප්‍රචාරය විය. වසර 50කට වැඩි කාලයක් වාසු සහෝදරයා මුහුණ දුන් කටුක ජීවන දුෂ්කරතා, කායික සහ මානසික වේදනාවන් විවිධාකාරය. ඒ නිසාම ඇතැම් විට නිර්මාංසාහාරික වාසුගේ සෞඛ්‍යය තත්ත්වයන්ද පිරිහීමට ලක්විය. එසේ කුමන දුෂ්කරතා පැවතිය ද වාසු වමේ ගමන් මඟ අතහැර විවේක ගන්නට නොසිතයි. ඒ නිසාම 2015 මහින්ද මහතාගේ පරාජයේ දී කිසි ලෙසකින්වත් දුර්මුඛ නොවී “මහින්ද සුළඟ” මඟින් නැවතී තිබූ ජනතා ගමන ඉදිරියට ගෙන යාමට වාසු සහෝදරයාගේ නායකත්වය අද්විතීය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඔහු කිසිදාක අයුතු ප්‍රයෝජන ලබා නැත. ඔහු ආත්මාර්ථකාමී නොවීය. පසුගිය පළාත් සභා මැතිවරණයේ දී පුතෙකුට රත්නපුරයෙන් පහසුවෙන් ජයග්‍රහණය කළ හැකිව තිබුණ ද, ඔහු ඒ වෙනුවට ඇහැළියගොඩ පාක්ෂිකයකුට එම වරම ලබාදීමට වරම් නිහතමානී විය. වරෙක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපතිව සිටි හකීම් මහතා වාසු හැඳින්වූයේ, “පාර්ලිමේන්තුවේ හෘදය සාක්ෂිය” ලෙසිනි. මෙවන් නොකිලිටි මානව හිතවාදී, බහුශ්‍රැත ප්‍රජාතන්ත්‍රවාදී වමේ නායකයකු අනාගතයේදී දැකීම සැක සහිතය. ආදරණීය වාසුදේව ඇමැති සහෝදරයාට නීරෝගී සම්පත්තිය ලැබේවායි පතමු.
– හරිස්චන්ද්‍ර පීරිස්