Home Politics News Room : විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය පාලනයක් ඇති...

News Room : විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය පාලනයක් ඇති කරනවා

0
0

මම බලයට පත් වූ විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැලඳ ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රුවන්වැල්ලේදී පෙරේදා (18) ප්‍රකාශ කළේය.

රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්විමින් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියා නායකයෝ හැමෝම කයිවාරු ගැසුවා. නමුත් එය වෙනස් කළේ නැහැ. ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියා පාලකයෝ දළදා වහන්සේ ඉදිරියේ පවා අත්සන් තැබුවා. ජනාධිපති පුටුවට ගියවිට ඔවුන්ට ඒවා අමතක වී ගියා. මට තනතුරු තාන්න මාන්න සම්බන්ධයෙන් ආසාවක් නැහැ. ඒ නිසා බලයට පත් වූ විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැළඳ ගන්නවා.

වර්තමාන ක්‍රමය තුළ අයුක්තිය, අසාධාරණය, පලිගැනීම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අසීමිත ලෙස බලය භාවිත කරමින් ජනතාවගේ ඡන්ද බලය අහිමි කරමින් තමන්ගේ බලය රැක ගැනීමට පාලකයන් කටයුතු කිරීම හේතුවෙන් ජන සමාජය බරපතළ අසාධාරණකම්වලට මුහුණ දී සිටිනවා.

අද රටේ ආදායම් සහ සම්පත් බෙදී යාමේ විෂමතාවයන් තිබෙනවා. ධනය බෙදී යෑමේ විෂමතාවයන් තිබෙනවා. අද වනවිට දුප්පත්භාවය වැඩි වෙලා තිබෙනවා. රටේ හරි අඩක් ඉන්නේ දුප්පත් ජනතාව. මේ ජනතාවට කිසිදු විසඳුමක් නෑ. නුපන් දරුවන්ගේ සිට මව්පරපුර, තරුණ පරපුර, සිසු පරපුර, වැඩිහිටියන් අසීමිත පිඩනයකට අසහනයකට ලක්ව තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයත් සමග ජනතා ආශිර්වාදයෙන් බිහිවන පොදුජන යුගය සමඟ සමස්ත රටම ශක්තිමත් කරන බොරු නොකියන ඇත්ත කතාකරන දූෂණය වංචාව තුරන් කරන යුගය ආරම්භ කරනවා.

අපි ආර්ථික පුනරුදයක් ඇති කරනවා. අද රටේ ආර්ථිකය සහ ජනතාව සිරගත කරලා තිබෙන්නේ. ක්ෂුද්‍ර ආර්ථිකය සහ සාර්ව ආර්ථිකය කොටු කරලා තිබෙනවා. රටේ පෝලිම් යුගය අවසානයි, රටේ ප්‍රශ්න නෑ කියලා බොහෝ දෙනෙක් වේදිකාවලදී ප්‍රකාශ කරනවා. පෝලිම් යුගය නැති කරලා තිබෙන්නේ මිල වැඩි කරලා, අසහනය වැඩි කරලා, සහන කප්පාදු කරලා, ජනතාවගේ ජන ජිවිතය කුඩා කරලා . ලැජ්ජ නැතිව කියනවා රට සාමාන්‍යකරණය වෙලා කියලා. ලක්ෂ 220ක් වන ජනතාව දුප්පත්භාවයෙන් තෙරපිලා මිරිකිලා සිටින්නේ. තුන්වේල කන්නේ නැති බහුතරයක් අද රටේ සිටිනවා. රටේ ජනතාව දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වැනිදා ජනතා ශක්තිය තුළින් බිහි කරනවා.

අපේ ආණ්ඩුවක් තුළින් තේ කර්මාන්තය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. වගා නොකරපු රජයේ තේ ඉඩම්, වගා නොකළ පෞද්ගලික ආයතනවල තේ ඉඩම් රටේ සිටින විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට ලබා දී කුඩා තේ වතු හිමියන් බවට පත් කොට ඔවුන්ව රටේ තේ නිෂ්පාදනයට දායක කරගන්න ක්‍රමවේදයක් නිර්මාණය කරනවා. රටේ තේ වගා කරන ඉඩම්වලින් කුඩා තේ වතු හිමියන්ට තිබෙන්නේ සියයට 40ක අයිතියක්. නමුත් ඒ සියයට 40 අයිතියෙන් තේ නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලැබෙනවා. සියයට 60ක් තිබෙන රාජ්‍ය සහ පෞද්ගලික තේ ඉඩම්වලින් සුළු දායකත්වයක්.

ඒ වගේම දස ලක්ෂයක් අලුත් ව්‍යවසායකයින් බිහි කරනවා. ගෝලීය සැපයුම් ජාලයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන් ව්‍යාපාරික ප්‍රජාවක් නිර්මාණය කරනවා. දුප්පත්භාවය තුරන් කරන්න ජන සවියට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම තාක්ෂණයේ, තාරුණ්‍යයේ නවෝදයක් ඇතිවන යුගය, මව්වරුන්ට දරුවන්ට ශක්තිය ලබාදෙන යුගය, රටේ තව නොබෝ දිනකින් උදා වෙනවා. රටේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් ඇති කර සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කරන අධ්‍යාපන ක්ෂේත්‍රයක් නිර්මානය කරන්න කටයුතු කරනවා. අල්ලස, වංචාව, දූෂණය තුළ කඩාවැටුණු ජන සමාජය අපි යළි ඉහළට ඔසවා තබන යුගයක්, නව යුගයක්, ජන සමාජය ගොඩනඟන යුගයක්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මැද මාවත තුළ රටට සෞභාග්‍යය උදාකරන, පොඩි මිනිසාගේ යුගය බිහි කරන්න කැපවී කටයුතු කරනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා වගකිම් භාර ගන්නේ නැතිව මම පැනලා ගියා කියලා. මම කවදාවත් පැනලා ගිහින් නෑ. ජනාධිපතිවරණ අභියෝග ඉදිරියේ මම බය නැතිව අපෙක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. මම කවදාවත් වෙනත් අපේක්ෂකයෝ දාලා පක්ෂ නායකත්වය රැක ගන්න කටයුතු කරන්නේ නෑ.

හොරු එක්ක ඩීල් නැති, ජනමතය පාවාදෙන්නේ නැති, ඡන්දය දුන්න ජනතාව අමතක නොකරන යුගය අපි බිහි කරනවා. ඒ යුගය තමයි පොඩි මනුස්සයාගේ සංවර්ධන යුගය. ජනතා වරමින්, ජනතා ආශිර්වාදයෙන් රටේ ජනාධිපති ලෙස පත්වෙලා රටේ අයිතිකරු ලෙස නොවෙයි තාවකාලික භාරකරු ලෙස නිරන්තරයෙන් සේවය කරන්න කටයුතු කරනවා.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here