Home Politics News Room : සාධාරණ ජනාධිපතිවරණයකට මඟ පෙන්වන නීති

News Room : සාධාරණ ජනාධිපතිවරණයකට මඟ පෙන්වන නීති

0
0

ජනාධිපතිවරණයට අදාළව පක්ෂ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ කරුණු පිළිබඳව පෙන්වා දී තිබේ. මේ කරුණු මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ පමණක් නොව මෙරට නීතියේම කොටසකි. එනිසා මෙම නීති උල්ලංඝනය කිරීම නීතිය කඩකිරීමකි. එමෙන්ම එවැනි නීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

එනිසා මෙම නීති තදින් ඉටු කිරීම සියලු දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් මෙන්ම ආධාරකරුවන්ගේද වගකීමකි. කලකට පෙර මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස මැතිවරණ පැවැත්වූ සහ දූෂිත ලෙස මැතිවරණ පැවැත්වූ ද අතීතයක් තිබුණි. එහෙත් මේ වන විට සියලු පක්ෂ සිවිල් කණ්ඩායම් එක්ව මෙරට මැතිවරණ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරනු ලබන කරුණු සම්පාදනය කර තිබේ. එය අගය කළ යුතු තත්ත්වයකි. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මිදී ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවීම, ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම ආදි කරුණු ඇතුළත් කර තිබේ. එනිසා මෙරට මැතිවරණ ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීම සඳහා එවැනි දේ සිදු කිරීම අගය කළ යුතුය.

ජනාධිපති මැතිවරණ ක්‍රියාවලිය තුළ කිසිසේත්ම නොකළ යුතු දෑ රැසක් පිළිබඳව සඳහන් කර තිබේ. ඒවා පහත පරිදි වේ.

අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ වූ පනතේ 74 වන වගන්තිය යටතේ නාමයෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වන දින තෙක් අපේක්ෂකයෙකු තෝරා පත්කර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම, බෙදා හැරීම නොකළ යුතු වෙයි. සියලුම අපේක්ෂකයින්ගේ අවධානය මේ සම්බන්ධව යොමුකර ඇති අතර මේ සඳහා වූ නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත අදාළ උපදෙස් පොලිසියේ මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලබා දීම මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබ තිබේ. එනිසා සෙසු අපේක්ෂකයන් අගතියට පත්කරනු ලැබූ බවට තහවුරු වුවහොත් ඡන්ද පෙත්සමක් දක්වා වුවද නෛතික ක්‍රියාමාර්ග ගත හැකිය.

ප්‍රචාරක දැන්වීම්, කටවුට් ප්‍රදර්ශනය කිරීම

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් හෝ වෙනත් ප්‍රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර ඡන්ද සලකුණු, ධජ හා පතාක යනාදිය ප්‍රචාරණය කළ හැක්කේ රැස්වීමක් පවත්වන දිනයකදී එම ස්ථානය අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබා ගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීමකට යටත්ව පමණි. එම නීති නිසි ලෙස ඉටු කළ යුතු අතර එසේ නොවන අවස්ථාවල නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් වෙත පූර්ණ බලය තිබේ.

ශබ්ද විකාශන නීතිය

ශබ්ද විකාශන භාවිතය ගැන මැතිවරණ නීතිය තුළ විශේෂයෙන් සඳහන් කර තිබේ. මැතිවරණය සඳහා වූ කාලය තුළදී අපේක්ෂකයින් සඳහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි අතර, එම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැක්කේ පොලිසියේ නිසි අවසරය මත පමණි.

අල්ලස් හෝ දූෂණ ක්‍රියා සහ බලපෑම් මැතිවරණ නීතිය සහ සදාචාරය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. එහෙත් එවැනි දේ සිදුවූ අවස්ථා පිළිබඳ අතීතයේදී බහුලවද වර්තමානයේදී අඩුවෙන් ද අසනන්නට ලැබේ. අඩුවෙන් සිදුවුවද එවැනි දේ සිදුවීම නීති විරෝධීය. එනිසා එවැනි දේ සිදුවෙයි නම් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.

යම්කිසි අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට යම් යම් දෑ ලබාදීම අල්ලස් ලබා දීමක් සේ සැලකෙයි. ඒ අනුව, ඡන්දය ලබාගැනීම සඳහා සංග්‍රහ කිරීම්, අල්ලස් ලබා දීම්, අයුතු බලපෑම් දූෂණ ක්‍රියාවන් සේ සලකයි. තවද ආගමික වැඩසටහන් හෝ පූජනීය ස්ථානවල පැවැත්වෙන වැඩසටහන් හරහා පක්ෂ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම නොකළ යුතුය. එකී ප්‍රවර්ධනයන් අයුතු බලපෑම් යටතට පත්වෙයි.

රාජ්‍ය දේපළ අවභාවිතය

රාජ්‍ය සේවා ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය දේපොළ භාවිතයද මැතිවරණයක නොකල යුතු වැරැදිය.ජනාධිපතිවරණ කාල සීමාව තුළදී රජයේ අමාත්‍යාංශ මෙන්ම රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා, බැංකු, මණ්ඩල ආදී ව්‍යවස්ථාපිත ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ද රාජ්‍ය ආයතන සේ සැලකේ.

මෙකී රාජ්‍ය ආයතනවල දේපොළ ජනාධිපතිවරණයේ දී පක්ෂ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම අගතියට පත් කිරීම සඳහා භාවිත කිරීම සපුරා තහනම්ය.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවක නිරත විය නොහැකි වෙයි.

තවද දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාවන් තුළ දේශපාලන කටයුතුවල නිරත විය නොහැකිය.

සෑම රජයේ නිලධාරියෙකු මෙන්ම සේවකයෙකුම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජූලි 26 දිනැතිව නිකුත් කරන ලද 23 94/56 දරන ගැසට් පත්‍රය මගින් නිකුත් කර තිබෙන විධානවලට යටත්ව කටයුතු කළ යුතුය.

ජනාධිපතිවරණයෙන් පසු කාලයද ජනාධිපතිවරණයේ වැදගත් කාල සීමාවකි. මෙහිදී ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගතවන තුරු පෙළපාළි පැවැත්වීම තහනම් වනු ඇත.

මෙවැනි නීති විරෝධී පෙළපාළී පැවැත්වීමේ දී එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට අවස්ථාව තිබෙන අතර එවැනි වරදක් ඔප්පු වුව හොත් මැතිවරණ නීතිය යටතේ මෙන්ම සාමාන්‍ය නීතිය යටතේ ද දඬුවම්වලට ලක්වීමට ඉඩ තිබේ.

උදිත ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here