19
දිළිඳුකම පිටුදැකීමේ සඳහා පැලැස්තර විසඳුම් නොව තිරසර විසඳුමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රටට දෙන බව විශ්වාස බව සමඟි ජන බලවේගයේ සමඟි බුද්ධි මණ්ඩපයේ සභාපති නීතිවේදි ආචාර්ය අජිත් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. මේ රටේ ජනතාව හැමදාම දුප්පත්කමින් පෙළීමට සුදුසු නැති බවත්, සෑම දෙනාම අත මිට සරු අය බවට පත්විය යුතු බවත් පැවසූ ඒ මහතා ඒ සඳහා තිරසර දැක්මක් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට පමණක් බවද පැවසීය.
නීතිවේදි ආචාර්ය අජිත් සෙනෙවිරත්න මහතා මෙසේද ප්‍රකාශ කළේය:
“දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් මේ රටේ දුප්පත්කම තුරන් කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කළා නම් අද දුප්පත්කම බොහෝ දුරට මේ රටේ නැහැ. ජනතාවගේ අතමිට සරු කිරීමට පළමුව ඔවුන්ට මුලින් ආධාර දුන්නත්, එය දිගින් දිගටම සිදු කිරීම සුදුසු නැහැ. ඔවුන්ට ජීවනෝපායක් සලසා දිය යුතුයි. හැකියාවට අවස්ථා උදා කළ යුතුයි. ඔවුන් ආර්ථික ක්‍රියාකාරකමක් සිදු කිරීමට තරම් සවිමත් සවිබල ගැනීමක් ඇති අය බවට පත් කළ යුතුයි. විශේෂයෙන් ඔවුන් කිසියම් හෝ නිෂ්පාදන ක්‍රියාවලියකට දායක කරගත යුතුයි. ගෘහ ආශ්රිත කර්මාන්ත බිහි කළ යුතුයි. ඒ වගේම නව නිපැයුම් සඳහා ඔවුන් යොමු කළ යුතුයි.
කුඩා කණ්ඩායම් ක්‍රමයක් හරහා ඔවුන් සවිබල ගැන්වීම පහසුයි. අද නවීන ලොව තාක්ෂණය දුප්පත්කම දුරු කිරීමට යොදාගත යුතුයි. අප ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරනවා.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන එකඟතා නැවත සමාලෝචනය කිරීමට තමා සූදානම් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය අගය කළ යුතු බවත්, ජනවරමක් රහිත ආණ්ඩුව කිසිම විලසකින් ඇති කරගත් ඒ එකඟතා තවදුරටත් එලෙසම පවත්වාගෙන යෑම සුදුසු නොවන බව සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස බවත් අජිත් සෙනෙවිරත්න මහතා මෙහිදී කීය.
ජයසිරි මුණසිංහ