Home Politics News Room : පොහොට්ටුවේ එකම බලාපොරොත්තුව ජනතා අභිලාෂ ඉටු කිරීමයි

News Room : පොහොට්ටුවේ එකම බලාපොරොත්තුව ජනතා අභිලාෂ ඉටු කිරීමයි

1
0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එකම බලාපොරොත්තුව රටේ පොදු මහජනතාවගේ අභිලාෂ ඉටු කිරීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (20) සහ පෙරේදා (19) කැලණිය රාජමහා විහාරස්ථානය, කොළඹ සම්බුද්ධාලෝක විහාරය, නාරාහේන්පිට රාමඤ්ඤ නිකාය මූලස්ථානය, විජේරාම චාරිකාරාමය, දවටගහ මුස්ලිම් පල්ලිය, කොළඹ මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිල ඇතුළු සිද්ධස්ථාන කිහිපයකට පැමිණ ආශීර්වාද ලබාගත් අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ප්‍රතිපත්තිමය කාරණා මත මැතිවරණයට ඉදිරිපත්වීමක් අපි දකින්නේ නෑ. පිල් මාරු වෙනවා. පෞද්ගලික කාරණා මත දේශපාලනය කරනවා. නමුත් පැහැදිලිවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එකම බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි. ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෙ කියපු තරුණ තරුණියන් තවමත් පාරේ ඉන්නවා. ඒක පාවිච්චි කර දේශපාලන වාසි ගන්න පක්ෂ එක්ක ගනුදෙනු කළ අය පක්ෂවලට බෙදී ඉන්නවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයෙනුත් පැහැදිලිව ඔප්පු වෙනවා අරගලයේ සිටි භාගයක් පමණ එතැන ඉන්නවා. එතුමාත් අරගලයේ නිර්මාතෘවරයෙක්. ඒ නිසා අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කරගෙන වැඩක් වෙන්නේ නෑ. බුද්ධිමත්ව, අනාගතය පිළිබඳව සැබෑ වැඩපිළිවෙළක් සමඟ තීන්දු තීරණ ගත යුතු වෙනවා. ඒ වගේම මම කාදිනල් හිමිපාණන් වහන්සේ මුණ ගැසී ආශීර්වාද ගත්තා.

පාස්කුදා ප්‍රහාර සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. ඇතැම් කාරණාවලදී පුළුල්ව ඇහුම්කම් දෙන්න තිබුණා කියා මා විශ්වාස කරනවා. අපි මැතිවරණ ව්‍යාපාරය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. බොහෝ අය හිතනවා, මැතිවරණ ව්‍යාපාරය කියන්නේ ලංකාව වටේම සෙනඟ ගෙනැවිත් රැලි පවත්වන එක කියලා. ඒකත් අපි කරනවා. අපි දේශපාලන පක්ෂයක් සහ බලවේගයක් ලෙස අභියෝගවලට මුහුණදී තිබෙනවා. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රට භාර ගන්නකොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරනවාද නැද්ද කියන තීන්දුව ගත යුතුව තිබුණා. මහින්ද ජනාධිපතිවරයා ඒ අභියෝගය භාර ගත්තා. එම අභියෝගය ජයග්‍රහණය කළා. ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති වුණා. නව නගර ඇති වෙන්න පටන් ගත්තා. මහ මුහුද ගොඩ කරලත් නගර ඉදිකිරීම අප ආරම්භ කළා. 2015දී අපේ කණ්ඩායම, කඳවුර පරාජයට පත්වුණා. අපට අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අප ගොඩනැඟුවා. අප ඒ තුළින් ජයග්‍රහණ ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට භාරගැනීමට සිදු වූයේ 2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාර දුන් තැනින් නොව සංවර්ධනය නතර වූ, ත්‍රස්ත බිය ඇති වූ දේශපාලනික වශයෙන් මහා විකෘති පරිසරයක් තමයි ගෝඨාභය ජනාධිපතිවරයා භාර ගත්තේ. එම ක්‍රියාදාමය තුළ අපට කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු වුණා. එම නිසා ලෝකයේ මහා බලවත් ආර්ථිකයන් කඩා වැටෙමින්, මිනිස් ජීවිත නැති වන විට ගෝඨාභය රාජපක්ෂ රජයට හැකි වුණා මිනිස් ජීවිත බේරා ගැනීමට. පසුව අරගලයක් පැමිණියා. එය ඇති වුණේ කොහොමද, හරිද, වැරදි ද කියන කාරණය පිළිබඳ අපට විවිධ මතවාද තිබෙනවා. එවැනි අරගල ඇති වන අන්දම ලෝකය පුරා අප දැක තිබෙනවා. අප රට තුළ ඇති වූ අරගලයේදී ගෝඨාභය ජනාධිපතිවරයාට තීන්දු කරන්න සිදු වුණා .ආණ්ඩුව ආරක්ෂා කර ගන්නවාද, රාජ්‍ය ආරක්ෂාව කරනවාද යන්න පිළිබඳ.

අපේ පක්ෂය තුළ තරුණ නායකයන්ට ගොඩනැඟෙන්න අවකාශ තිබෙනවා. ආගම, දහම, සංස්කෘතිය කේන්ද්‍ර කර ගත් සමාජයක් ගොඩනැඟීමෙන් අප විශ්වාස කරනවා, නූතන පරම්පරාවට නවීකරණය වූ තරුණයකු ගොඩනඟන්න හැකි අවකාශය හැදෙනවා කියලා. දේශපාලන මතවාද තියෙන, වෙනත් අදහස් තියෙන තරුණ පරම්පරාවක් ඉන්නවා. වැඩිහිටියෝ ඉන්නවා. වැඩිහිටියන් තමන්ගේ දරුවාගේ අනාගතය පිළිබඳ කල්පනා කළ යුතුයි. අපේ තරුණ පිරිස හරි බුද්ධිමත්. අප අලුත් පරම්පරාවට අවස්ථාව දෙනවා. අප එක් වෙමු අලුත් දේශපාලන ගමනක් යන්න. බුද්ධිමත්ව ප්‍රතිපත්ති දෙස බලා, මේ රටට ගැළපෙන වැඩපිළිවෙළක් දෙස බලා තීන්දුවක් ගන්න කියා මම ඉල්ලීමක් කරනවා.”

මේ අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූපය – සුදත් නිශාන්ත

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here