9
(ශ්‍රී ලංකාවේ 08 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන 09 වැනි ජනාධිපතිවරණය තව ටික දිනෙකින් පැවැත්වේ. ඡන්දය පැවැත්වීම වෙනුවෙන් විවිධ ආයතන හා කණ්ඩායම් තම තමන්ගේ රාජකාරිය වෙනුවෙන් යුහුසුළු වෙති. මේ සාකච්ජා සටහන ඒ වෙනුවෙනි.)
මැතිවරණ වියදම් කවදත් උණුසුම් මාතෘකාවකි. ඡන්ද හිමියන් ලියාපදිංචිය, මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්ය භාරයකි. එහෙත් එයින් නොනැවතී, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමෙහිලා වැදගත් වන, මඟ පෙන්වීම්, විධිවිධාන හැම අතින්ම සම්පාදනය කෙරෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා වෙනත් අණ පනත් මඟින් මැතිවරණ කොමිෂන් සභාවට බලය පවරා තිබේ. ඡන්ද ප්‍රචාරණයේදී කරන වියහියදම් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103,104 හා ඡන්ද හිමියන් ලියාපදිංචියට හා ඡන්ද විමසීම් පැවැත්වීමට අදාළ කරුණු පමණක් නොව, තවමත් 1946 මැතිවරණ රාජ්‍ය ආඥාවේ එන ඇතැම් කොටස්, කරුණු ආදිය අදටත් මෙහිදී අදාළ කර ගැනේ. විශේෂ මැතිවරණ විධිවිධාන පනත ද මෙහිදී විශේෂත්වයක් ගනී.
එසේම, ඉහත ඇතැම් වැරදිවලට අදාළව ඒ අනුව කොමිසම ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබයි. මෙතෙක් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා වෙන් කෙරුණු කාලය අවසන් කර තිබියදී, නීති විරෝධී අයුරින් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම වැනි නීති විරෝධී ප්රචාරක කටයුතුවලට චෝදනා ලැබ, අධිකරණයෙන් වරදකරුවකු වන අයකුට වෙනදා නියම කෙරුණු රුපියල් 300, 500 වැනි දඩ මුදල මේ වන විට රුපියල් ලක්ෂ 3 – 5 පමණ තෙක් වැඩි කර ඇත. විශේෂයෙන් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ආදිය මෙහිලා බහුලව භාවිත වනු දක්නට පුළුවන. මෙයින්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම, සර්වජන ඡන්ද බලය ගැන කතා කරන විට, සියල්ලන්ටම ඒ අයිතිය භාවිත කිරීමට ඉඩ ලැබී ඇති දැයි සිතා බැලීම වටී. සිරකරුවන් ඒ අතර වෙයි. ඔවුන්ට ඒ අවස්ථාව සලසා දීමට අදාළව කොමිෂන් සභාව නඩු පැවරීම් කර තිබේ. වසර 2කට වඩා වැඩි කාලයක් සිර දඬුවම් නියම වන තැනැත්තන්ට ඡන්ද අයිතිය අහිමි වුවද සෙසු තැනැත්තන්ට එය එසේ නොවේ. ඒ අනුව බැලූ විටද, රිමාන්ඩ් බන්ධනාගාරගත වූවන් ඇතුළු බොහෝ පිරිසක් ඡන්ද අයිතිය අහිමි වී තිබෙන, බන්ධනාගාරගත වූවෝ අතර වෙති. එපමණක් නොව, අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත අය, නාට්ටාමිවරුන් ආදීන්, අධිවේගී මාර්ගයන්හි සේවයේ නියුතු පිරිස්, ධීවරයන් ආදීන්ට ද ඡන්ද දිනයන්හිදී ඒ අයිතිය භාවිත කිරීමට ඉඩ නොලැබීමට පුළුවන.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන විධාන, මාර්ගෝපදේශ, උපමාන පැනවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරී තිබේ. රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල නියැළීම, ජනමාධ්‍ය පක්ෂපාතී හා අසාධාරණ, අනීතික අන්දමින් කටයුතු කිරීම ආදියට එරෙහිව ජනමාධ්‍ය උපමාන පැනවීම ආදියට මේ අනුව පුළුවන. සැබැවින්ම මැතිවරණ කාල සීමාවේදී පමණක් නොව, මැතිවරණය නිමවී සතියක කාලයක් දක්වාම ඒ සඳහා බලය නීති ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවට පැවරේ. ඡන්ද විමසීම් අවස්ථාවලදී පොලිසිය යොදා ගැනීමේදී බලය ද එසේමය. 1981 අංක 15 දරන පනතට අනුව මැතිවරණ කොමිසම් සභාවට මැතිවරණ වැරදි, නීති විරෝධී ක්‍රියා, දූෂණ ක්‍රියා ආදී වශයෙන් කොටස් කර දැක්විය හැකිය. ඒ, මැතිවරණ ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම පිණිසය. තවද, ඡන්ද විමසීම් පැවැත්වෙන දින, ඡන්ද මධ්‍යස්ථාන අවට ඡන්ද ආයාචනා කරන්නන් දක්නට පුළුවන. එහෙත් ඡන්ද මධ්‍යස්ථානයේ සිට වර්ග මීටර් 500ක් ඇතුළත ඒ කාර්යයට ඉඩ නැත. එය එසේ කළහොත් මැතිවරණ නීතියට විරෝධීය. ඡන්ද පත්‍රිකාව අනෙක් තැනැත්තන්ට ප්‍රදර්ශනය කිරීමත් මැතිවරණ නීතියට අනුව වරදකි. ප්රචාරක අත් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු 5දෙනකුගෙන් යුතු කණ්ඩායමකට කළ හැකිය. එහෙත් එය මුද්‍රණය කරවූ තැනැත්තා, එම මුද්‍රණාලය ආදිය සඳහන්ව තිබිය යුතුය.
මේ ආදී වශයෙන් වන වැරදිවලට අදාළව පැමිණිලි ලද විට මැතිවරණ කොමිසම ඒ පිළිබඳ සොයා බලා ඉදිරි පියවර ගන්නවා. එසේම, පැමිණිලි නොලදත් විමසිල්ලෙන් සිටින, කොමිසම එවැනි නීති කඩ කිරීම් දුටු විගස ඊට එරෙහිව ක්‍රියාත්මක වේ.
නුවන් මහේෂ් ජයවික්‍රම