Home Politics News Room : විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බහුතරය කැමැතිනම් සාකච්ඡා කළ...

News Room : විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බහුතරය කැමැතිනම් සාකච්ඡා කළ හැකියි

1
0

විධායක ජනාධිපති ධුරය සජිත් ප්‍රේමදාස මහතා විසින් අහෝසි කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතාව කැමැතිනම් එය කළ හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය. 2020 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රමාණය දෙස බැලූ විට එම ප්‍රමාණයට වැඩියෙන් සමස්ත ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය වැඩි යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පෙරේදා (20) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේය.

“විධායක ජනාධිපති ධුරය නැති කරන්න තනියෙන් බෑ. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඒ සඳහා අවශ්‍ය වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ප්‍රතිපත්තිවල සඳහන් කරනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. ඒ අනුව ජනතාවට හැකියාව තිබෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කැමැති ද අකැමැති ද කියලා තීන්දු කරන්න.විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න බහුතර ජනතාවක් කැමැති වුණොත් එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක කියනවා ඔහුට ඡන්ද ලක්ෂ 70ක් ගන්න හැකියාව තිබෙනවා කියලා. 2020 මැතිවරණයේදී සමස්ත රටෙන්ම ඡන්ද ලබාගත්තේ හාරලක්ෂ හතළිස් අටදහස් අටසිය අනූ අටයි. ඒක සියයට 3.8ක ප්‍රතිශතයක්. ඒ වගේම රටේ ප්‍රධාන දිස්ත්‍රික්ක තුන වන ගම්පහ, කුරුණෑගල, කොළඹ දිස්ත්‍රික්කවලින් විශාල ඡන්ද ප්‍රමාණක් ගන්නේ නැතිව ඡන්දයක් දිනන්න අපහසුයි.

කොළඹින් ඡන්ද අරගෙන තිබෙන්නේ 67,000යි. ගම්පහින් ඡන්ද අරගෙන තිබෙන්නේ 61,000යි. කුරුණෑගලින් ඡන්ද අරගෙන තිබෙන්නේ 36,290ක්. ඒ වගේම 2020 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ගත්ත සමස්ත ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියි ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය. 2020 මැතිවරණයේදී ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය හත් ලක්ෂ හතළිස් හතරදාහයි. ජනතා විමුක්ති පෙරමුණ ගත්ත ඡන්ද ප්‍රමාණය හාරලක්ෂ හතළිස් අටදාහයි. එහෙම ඡන්ද ගත්ත පක්ෂයක් කොහොමද ඡන්ද ලක්ෂ 70ක් ගන්නේ”යැයි පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here