Home Politics News Room : ජනවරමෙන් රටේ නායකයා වී පාස්කු දා ප්‍රහාරය පිටුපස සියලු සැලසුම් රටට...

News Room : ජනවරමෙන් රටේ නායකයා වී පාස්කු දා ප්‍රහාරය පිටුපස සියලු සැලසුම් රටට හෙළි කරනවා

1
0

සැප්තැම්බර් 21 වැනිදාට ජනතාව ලබාදෙන ජනවරමෙන් රටේ නායකයා වී පාස්කු දින ප්‍රහාරයේ සුලමුල සෙවීමට විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් අරඹා පාස්කු ප්‍රහාරය පිටුපස තිබෙන සියලුම සැලසුම් රටට හෙළි කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන සන්ධාන රජයකින් නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් නිර්මාණය කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පෙරේදා (21) කටුනායක නගරයේ දී පැවැත්විණි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

‘‘මට මතක් වෙනවා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ අපේ රටේ ජනතාව. කොච්චිකඩේ, කටුවාපිටියේ, මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ සහ හෝටල් ගණනාවක වුණු ත්‍රස්ත ප්‍රහාර ගැන මේ වනවිටත් සත්‍ය තොරතුරු හෙළිවෙලා නෑ. මේ සඳහා නායකත්වය දුන්න කණ්ඩායම පිළිබඳව තොරතුරක් නෑ. මේ ප්‍රහාරය සැලසුම් කළේ කවුද? මහ මොළකරුවන් කවුද?, මේ කිසිම ප්‍රශ්නයක ඇත්ත හෙළිවී නෑ.

පාස්කු දින ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ, කටුවාපිටිය, සියෝන් දේවස්ථාන අලුත්වැඩියා කරන්න කටයුතු කළේ මම සහ මගේ කණ්ඩායම. ඒ වගේම පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වලට නිවාස සාදා දීමේ වැඩපිළිවෙළකුත් ආරම්භ කළා. පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වලට ජීවනෝපාය වැඩසටහනක් ආරම්භ කළා. පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වලට නිවාස දුන්නාට ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කළාට පාස්කු දින ප්‍රහාරයෙන් නැතිවුණු ජීවිත නැවත ගන්න බෑ.

කොච්චිකඩේ, කටුවාපිටිය, සියෝන් දේවස්ථාන ගොඩනඟන අවස්ථාවේදී යහපාලන ආණ්ඩුවේ ඇතැම් පිරිස් මගේ කකුලෙන් ඇද්දා. සෑම සතියකම කාදිනල් හිමිපාණන් සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වලා කොච්චිකඩේ, කටුවාපිටිය, සියෝන් දේවස්ථාන ගොඩනඟන්න, සුබසාධන වැඩසටහන් කරන්න කටයුතු කළා. ඒ සියලු දේ කළත් පාස්කු දින ප්‍රහාරයෙන් නැතිවුණ ජීවිතනම් නැවත ලබාගන්න බෑ. මටත් මගේ තාත්තා අහිමි වුණේ ත්‍රස්තවාදය නිසයි.

මට කා සමඟවත් ඩීල් නෑ. මට ඩීල් එක තිබෙන්නේ රටේ ලක්ෂ 220ක් වන ජනතාව සමඟ. මට හොර ඩීල් නෑ. රකින්න මගේ පරපුරක් නෑ. මම හොර පරපුර රකින්න යන්නේ නෑ. ත්‍රස්තවාදින් රැකගන්න උත්සාහ කළ කණ්ඩායම් රැකගන්න අපි කටයුතු කරන්නෙත් නෑ. කුමන බාධා පැමිණියත් පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයනවා පමණක් නොවෙයි, පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගේන්න කටයුතු කරනවා.

සමගි ජන සන්ධාන රජයකින් නව ව්‍යවසායකයන් දස ලක්ෂයක් නිර්මාණය කරනවා. රැකියා අහිමි වී සිටින තරුණ ප්‍රජාවට ඔවුන්ගේ මහන්සියෙන් ජීවිකාව කරගෙන යෑමට අවස්ථා උදාකර දෙනවා. යොවුන් පරපුරට නිපුණතා කුසලතා සංවර්ධනය කිරීමට තරුණ සංවර්ධන මධ්‍යස්ථාන සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඇති කරන්න කටයුතු කරනවා. රටේ සුහුරු යොවුන් පරපුරක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සමගි ජන සන්ධාන රජය අවතීර්ණ වෙනවා. නව තාක්ෂණ දැනුමෙන් සුහුරු තාරුණ්‍යයක් බිහිකර සුහුරු රටක් නිර්මාණය කරනවා. ලොව ඉල්ලන නිපුණතාවෙන් හෙබි ශ්‍රම බළකාය ලබා දෙන්න අපි කටයුතු කරනවා.

සෑම පාසලක්ම සුහුරු පාසල් බවට පත් කරනවා. සෑම රජයේ රෝහලක්ම සුහුරු රෝහල් බවට පත් කරන්න කටයුතු කරනවා. ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට පියවර ගන්නවා. ඒ වගේම කඩා වැටුණු ව්‍යාපාර නඟාසිටුවීමට ප්‍රාග්ධනය දෙනවා. ඒ වගේම

දුප්පත්භාවය තුරන් කරන නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ස්වඋත්සාහයෙන් ජනතාවට කොන්ද කෙළින් තියාගෙන වහල් නොවී ජීවත්වීමට හැකි යුගයක් අපි නිර්මාණය කරනවා.

මටත් මගේ කණ්ඩායමටත් ජනතාවගේ ශක්තියෙන් රටේ නායකයා වීමේ අවස්ථාව තව දින කිහිපයකින් උදා වෙනවා. ජනතා ආශිර්වාදයෙන් පත් වන අපේ කණ්ඩායම හොරු රකින්නෙත් නෑ. හොරු නීතියේ හමුවට ගේන්න කටයුතු කරනවා. හොරු හොරකම් කළ සම්පත් නැවත ලබාගෙන රටේ දියුණුව වෙනුවෙන් යොදවන්නත් ක්‍රියා කරනවා යැයිද පැවසීය.

හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා-

ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඇමැති ධුරය සහ මන්ත්‍රී ධුරය අහෝසි වූ හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට ජනාධිපතිවරයා ඔවුන් කටයුතු කළ අමාත්‍යාංශවල උපදේශක තනතුරු ලබාදී තිබෙනවා. එය අධිකරණයට කළ අපහාසයක්. ආණ්ඩු බලය සහ ජනාධිපතිවරයාගේ බලය භාවිත කර තනතුරු වරප්‍රසාද දෙමින් විපක්ෂයේ පිරිස් ආණ්ඩුවට ඈඳාගැනීමට ගන්නා ක්‍රියාදාමය ලජ්ජාසහගත කාරණයක්.

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් නිසා වැඩබලන පොලිස්පතිවරයා පත් කරන්න නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා. එසේම ජනාධිපතිවරයා නාමයෝජනා දුන් පසු අමාත්‍යාංශ උපදේශක තනතුරු දෙන්නේ කොහොමද? හරීන් ප්‍රනාන්දුට, මනූෂ නානායක්කාරට අවශ්‍ය පහසුකම් දෙන්න ජනාධිපතිවරයා අලුත් පාරක් නිර්මාණය කරනවා. ජනාධිපති මොන දේ කළත් ජනාධිපතිවරණය වරප්‍රසාද ලබාදී දිනන්න පුළුවන් මැතිවරණයක් නොවෙයි.

හිටපු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා –

අද රටේ ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ගන්න විදිහක් නෑ. ජාතික හැඳුනුම්පතක් ගන්න විදිහක් නෑ. රියැදුරු බලපත්‍රය ගන්න විදිහක් නෑ. නමුත් වී එෆ් එස් වීසා මගඩිය, ගෑස් මගඩිය, සීනි මගඩියට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේ නෑ. හොරකම දිගින් දිගටම සිදු වෙනවා.

විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන විශාල ලාභයක් ලබා තිබෙනවා. නමුත් රටේ ජනතාවට එයින් කිසිම සහනයක් ලැබී නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා-

පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස්, පොහොට්ටුවේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්වරුන් ඇතුළු සියලු සංවිධායකවරුන් ඇතුළු හැම බලවේගයක්ම සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙලා ඉන්නවා. ඒ මොකද රට වෙනුවෙන් වැදගත් තීන්දුවක්, තීරණයක් අරගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා විශ්වාස කරගෙනයි.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here