35
ජනපතිවරණ අපේක්ෂකයන් අතරින් මේ රටේ අනාගතය භාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු ඇමැති එස්.බී. නාවින්න මහතා පැවසීය.
මෙරට පැවති අර්බුදයෙන් පසු ගත වූ වසර දෙකක කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් කළ වැඩ කොටස මෙරට සියලු පුරවැසියන් අමතක නොකළ යුතු බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
හිටපු ඇමැති එස්. බී. නාවින්න මහතා එසේ සඳහන් කළේ කොළඹ 07, මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පෙරේදා (21) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම වෙනුවෙන් එක් වූ සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන්,ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා මහත්වරු ද මේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.
මෙහිදී වැඩිදුරටත් හිටපු ඇමැති එස්. බී. නාවින්න මහතා මෙසේ ද සඳහන් කළේය.
“මා 1989 වසරේ සිට 2020 වසර දක්වා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා.වසර 4කට පසු යළිත් මා ක්‍රියාකාරි දේශපාලනයට පැමිණියේ අද රට පවතින තත්ත්වය අනුව මෙරට ඉදිරි අනාගතය යහපත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමටයි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් විශිෂ්ටතම අපේක්ෂකයා ඔහු පමණයි.එදා මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමට කටයුතු කළේ කවුද යන්න කවුරුත් දන්නා කරුණක්.”
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ දේශපාලනඥයකු ලෙසත්, හිටපු අමාත්‍යවරයකු ලෙසත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි මහතා –
“පසුගිය කාලයේ අප රටේ පැවති ප්‍රශ්න කවුරුත් දන්නවා. අපේ ජනතාව පෝලිම් යුගයක හිටියා. එවැනි අර්බුද සමයක මේ රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂා භංගත්වයෙන් සිටි ජනතාවට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළා.පෝලිම් යුගය අවසන් කළා.
ඒ නිසා තවදුරටත් අපි විවිධ පාර්ශ්ව හදන රැලි පසුපස යා යුතු නැහැ.නැවතත් පෝලිම් යුගයක් අපට අවශ්‍ය නැහැ. මේ මැතිවරණ සමයේ නොයෙක් කණ්ඩායම් නොයෙක් පොරොන්දු ලබා දුන්නත් ජනතාව ඒවාට තවදුරටත් රැවටෙන්නේ නැහැ.”
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන්,ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා මහත්වරු මෙහිදී කතා කළහ.
සුභාෂිණි සේනානායක