12
එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙනයෑමට සුදුසු දැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගණයේ දී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන රැලියට එක්වෙමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් පැවැති මෙම ජනහමුවට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. ජනහමුවට එක්වූ ජනාධිපතිවරයාව එම ජනතාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“2022 ජූලි මාසයේ දී මා ආණ්ඩුව භාරගෙන පළමු වරට සිදු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමයි. එම කන්න 04 සාර්ථක කර ගනිමින් රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා කුඹුරත් මුළුතැන්ගෙයත් පිරවීමට කටයුතු කළා.
කැමති අයට භූමදානය කිරීමටත් කැමති අයට ආදාහනය කිරීමට හෝ ශරීරය වෛද්‍ය පීඨයට භාර දීමටත් හැකියාව ලැබෙන පරිදි නව නීති ගෙන ඒමට අදාළ කෙටුම්පත ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ගැසට් කිරීමට කටයුතු කරනවා. එසේම එම තත්ත්වයට මුහුණ දුන් පාර්ශ්වයන්ට වන්දි ගෙවීමට කමිටුවක් පත් කරනවා.
මීට වසර දෙකකට පෙර ආහාර නැතිව, ගොවිතැන් කිරීමට පොහොර නැතිව ජනතාව සිටියා. ගොවිතැන් කිරීමට පොහොර නොමැතිව ගොවීන් අසරණ වුණා. ආහාර, ඖෂධ නොමැතිව ජනතාව ඉතා අසීරුවෙන් ජීවත් වුණා. මා 2022 වසරේ ජූලි මාසයේ දී ආණ්ඩුව භාරගෙන මුලින්ම කටයුතු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමටයි. මෙහිදී 2022, 2023 යල, මහ කන්න සාර්ථක වුණා.
මා රට භාර ගන්නා විට ඩොලරයක මිල රුපියල් 370 දක්වා ඉහළ ගොස් තිබුණා. අද ඩොලරයක මිල රුපියල් 300ක්. මේ රට මා භාර ගනිද්දි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76කට අඩු වී තිබුණා. 2023 අවසන් වන විට එය ඩොලර් බිලියන 84ක් බවට පත්කර ගැනීමට කටයුතු කළා.
ජනතාවට තවදුරටත් සහන ලබාදිය යුතුයි. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89ක් බවට පත්කර ගත යුතුයි. උද්ධමනය සියයට 9ක් බවට පත්කරගත යුතුයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා. එපමණක් නොවෙයි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 92ක් බවට පත්කර ගතහොත් රුපියල තවත් ශක්තිමත් වෙනවා. අද අප සිදු කරන්නේ එම කටයුත්තයි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සජිත්ට හෝ අනුරට හැකියාවක් නැහැ. රට භාර ගන්නා ලෙස ඉල්ලූ විට සජිත් සහ අනුර පැනලා දිව්වා. එවන් පිරිසකට රටක් පාලනය කළ හැකිද ජනතාව අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ඔවුන් පැනලා ගියා.
මට තිබුණේ තනි මන්ත්‍රී ආසනයක්. නමුත් ජනතාව දුක් විඳින නිසා මම මේ රට භාර ගත්තා. ජනතාව දුක් විඳින අයුරු මම දැක්කා. ත්‍රීවීල් රියැදුරන්ට හයර් එක්ක යෑමට නොහැකි වුණා. මේවා දැකලා මේ නායකයන් අනුකම්පා කළාද? නමුත් ඒ අවස්ථාවේ රට භාරගත් මම ද්‍රෝහියෙක් කියලා අද ඔවුන් කියනවා. මම හොරු ආරක්ෂා කරනවලු. ඔවුන් හිතන්නේ එපමණයි. ජනතාවගේ දුක ගැන ඔවුන් හිතුවේ නැහැ. ඔවුන් කිව්වා සමෘද්ධිය ගෙවන්න සල්ලි නැහැ කියලා.
නමුත් මම අස්වැසුම හරහා ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 16 – සිට ලක්ෂ 24 දක්වා ඉහළ නංවා තිබෙනවා. පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම වැඩිහිටි දීමනාව වැඩි කළා. සජිත් හා අනුර මෙම කටයුතු සිදු කිරීම වෙනුවෙන් මා සමඟ එක් නොවුණේ ඇයි? මේ රටේ ජනතාව සජිත්ට හා අනුරට වරදක් කළාද? ඒකද ඔවුන් ජනතාවට උදව් නොකරන්නේ. ඔවුන් ජනතාවගේ ප්‍රශ්න ගැන සිතුවේ නැහැ. තමන් ගැන පමණයි සිතුවේ. එසේනම් ජනතාව ඔවුන්ට ඡන්දය ලබාදිය යුතුද.
භූමදානය කරන්නේ නැතිව ආදාහනය කිරීම නිසා මුස්ලිම් ජනතාවට විශාල හානියක් සිදු වණා. කැමති අයට භූමදානය කළ හැකි අතර, කැමති අයට ආදාහනය කිරීමටත් කැමති අයට තමන්ගේ සිරුර වෛද්‍ය පීඨයට ලබා දිය හැකි ආකාරයට අප අලුත් නීතියක් ගෙන එනවා. අලි සබ්රි ඇමැතිතුමා එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, අප එය ගැසට් කරනවා. ඇයි සජිත් හෝ අනුර මෙහෙම පනතක් ගෙනාවේ නැත්තේ. මෙය මුදල් පනතක් නොවෙයි, ඕනෑම මන්ත්‍රීවරයකුට ගෙන ආ හැකි පනතක්. ඒ වගේම මේ තත්ත්වයට මුහුණ දුන් පාර්ශ්වයන්ට වන්දි ගෙවීමටද කමිටුවක් පත් කරනවා. මෙම සිදුවීම පසුගිය ආණ්ඩු සමයේ සිදු වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිළිබඳ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලුවා.
අප තව දුර යා යුතුයි. අප මෙම වැඩ කටයුතු ආරම්භ කළා පමණයි. තවත් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අපට ආධාර අවශ්‍යයි. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රටවල් 17ක් සමඟ සාකච්ඡා කර ආධාර ලබාගෙන තිබෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. එම ගිවිසුම කඩ කළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. නමුත් සජිත් කියනවා එම ගිවිසුම වෙනස් කරනවා කියලා. අනුරත් කියනවා මෙම ගිවිසුම වෙනස් කරනවා කියලා. එසේ කළහොත් නැවත මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා. ගඟට වැටී මැරෙන්න ගිය මිනිහා බේරාගෙන ගංඉවුරට ගෙන ආ විට නැවත ගඟට පනිනවා ද? අපි මේ රට ගොඩනැඟිය යුතුයි. තරුණයන්ට අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. මෙය ආරම්භය පමණයි. අප ඉදිරියට යා යුතුයි. ඔබේ අනාගතය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න කියා මම කියනවා” යැයි පැවසීය.
ජයසිරි මුණසිංහ