24
- ජනපති රනිල්ගේ ජයග්‍රහණය ස්ථිරයි – -පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන
මේ රටේ ආර්ථිකය සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න නම් පැහැදිලිවම අපේක්ෂක ලයිස්තුවේ සිටින එකම නායකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් පළ පුරුද්ද සහ කළ පුරුද්ද තිබෙන දේශපාලඥයෙක් සිටිනවා නම් ඒ මහතාම පමණක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (23) පැවැති ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම් පිළිබඳ දැනුම්වත් කිරීමට සහ ඉදිරියේදී බිහිවීමට නියමිත නව සන්ධානය පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.
විරුද්ධ පක්ෂයෙන් අපට කිසිම තර්ජනයක් නැහැ වගේම අපට තරගෙකුත් නැහැ.මේ වෙනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපිත් එක්ක සිටි අතලොස්සක් මන්ත්‍රීවරුන් ඉතුරු වෙලා ඉන්නවා.මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියයට 95ක කණ්ඩායමක් අත්වැල් බැඳගෙන සිටිනවා පක්ෂය හැටියටම ඇවිත්.පක්ෂයේ සියලුම සංවිධාන,ශාඛා සංවිධාන, පාර්ලිමේන්තු,ප්‍රාදේශීය සභා ඇතුළු මේ සියලුම සංවිධාන ඒකරාශී කරගෙන අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපති නැවත වතාවක් මේ රටේ ජනාධිපති කරන්න ඕනෑ කියන චේතනාව පදනම් කරගෙන සහයෝගය දෙන්නේ.මේ රටේ ආර්ථිකය සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න නම් පැහැදිලිවම මේ ලයිස්තුවේ ඉන්න එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.මොකද ලයිස්තුවේ අපේක්ෂකයන් ගත්තොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පළපුරුද්ද සහ කළ පුරුද්ද තිබෙන දේශපාලනඥයෙක්.ඒ මහතා විතරයි මේ වෙනකොට ජනතාවට විශ්වාසය තියන්න පුළුවන් දේශපාලන නායකත්වයක් මේ රටට පෙන්නුවේ.
ඒ මහතා සමඟ මීට කලින් අපි දේශපාලනිකව අපි වැඩ කරලත් නැහැ එකතු වෙලත් නැහැ.මොකද එතුමා තමයි අපට හිටපු ප්‍රබලම ප්‍රතිවාදියා වෙන්නේ.අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ජයග්‍රහණය තහවුරු කරන වෙලාවෙ අපට හිටපු ප්‍රබලම ප්‍රතිවාදියා වෙන්නේ.නමුත් මේ වෙනකොට මේ රටේ අනාගතය සහ සියල්ලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිටයි කියන එක සහ ඒ විශ්වාසය පසුගිය අවුරුදු දෙකේ අපි දැක්කා.එදා අරගලය වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙලා ඒ සියල්ල සමනය කර මේ රට ඉතාම කෙටි කාලයකින් යාවත්කාලීන කර රටේ ජනතාවට නැවත නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදා තිබෙනවා.ජනාධිපති අපේක්ෂකයෙක් වන සජිත් ප්‍රේමදාස මහතාට මම අභියෝගයක් කරනවා.පුළුවන් නම් ඔබතුමා විදේශ රටවල්වල ගිය වාර ගණන කියන්න කියලා.එතුමාට ගුවන් යානයකින් විදේශ රටකට ගිහින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න තරම්වත් මානසික ශක්තියක් නැති කෙනා අරගලයක් වෙලාවෙදිත් පැනලා ගියා. අනුර කුමාර දිසානායකත් ඒ වගේම පැනලා ගියා.
අතරමඟදි මිනිසුන් අත හැර පැනලා යනවට වඩා අභියෝග ජයග්‍රහණය කරන නායකයෙක් තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ. එතුමාගේ නිවසත් ගිනි තිබ්බට පස්සේ අපි හිතුවා ඒකම බය වෙලා පැනලා යයි කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ගිනි තියලා එදා ඒ කණ්ඩායම් සූක්ෂමව කළෙත් එතුමාව මේකෙන් අයින් කරන්න පුළුවන්ද කියා බලන එකයි. නමුත් එතුමාගේ ගේ ගිනි ගත්තත් ඒ ඉදිරියට ගත් පියවර පස්සට තියන්නේ නැතිව මේ රටේ ජනතාව ගැන හිතලා රට එක්සේසත් කළා. එහෙම නැත්නම් අද බංග්ලාදේශයක් බවට මේ රට පත් වෙලා. අද බංග්ලාදේශයේ පොලිසියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ආර්ථිකය වැටිලා. මිනිස්සු දුක් විදිනවා. ජීවිත නැති වෙනවා. තිබෙන කර්මාන්තශාලා ගිනි තියනවා. මේ තත්ත්වයටත් අපේ රට පත් වෙන්න තිබුණා. ඒ තත්ත්වයෙන් අපේ රට මුදා ගත් එකම නායකයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ වගේම තමයි අනෙක් කිසිම දේශපාලන නායකයෙකුට ඒ හයිය නැහැ කියන එකත් මම බොහොම පැහැදිලිව කියනවායැයි පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය –
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය නියත බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා.අපි දැක්කා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදිත් තලතා අතුකෝරළ මහත්මිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට සහයෝගය දෙන්න තමන්ගේ මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත් වෙලා කටයුතු කළා. මේ රටේ කාන්තාවක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන මේ දේවල් දකිනකොට විශ්වාසයක් ඇති වෙනවා.තලතා අතුකෝරල කියන්නේ සජබෙ හිටපු කාන්තා ලාංඡනය විදියට තමයි අපි දකින්නේ. ඒ මහත්මියත් තීරණය කරනවා මේ වෙලාවේදී රට හදන්න නම් බෙදිලා යන්න බැහැ කියලා. අපි හරි තීන්දුවක් ගන්න ඕනෑ කියලා. ඒ තීන්දුව ගන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සහාය ලබා දෙන්න ඕනෑ කියලා. සජබෙ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න ඇවිත් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා සජබෙ වේදිකාව තුළ පවා කාන්තාවන්ට නිසි තැන ලැබෙන්නේ නැහැ කියලා.
ඒ තත්ත්වයන්ට මුහුණ දෙන හැටි අපි දැක්කා.ඒ පැවැති රැස්වීමේදී කාන්තාවන්ට නිසි තැනක් හම්බ වුණාද කියලත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අද රටේ කාන්තාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්නෙ ඇයි කියා ප්‍රශ්නයක් ආවොත් අපේ රටේ වැඩිම ආර්ථික අවපාතයක්, ඇති වුණ අරගලයත් එක්කම තිබුණු ලොකුම ගැටලුව වගේම රටේ සුරක්ෂිතභාවය කියන දේ වැදගත් වෙනවා. රට ආර්ථික වශයෙන් කොහොමද සුරක්ෂිත වෙන්නේ.රටේ ජනතාවගේ සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙන්නේ කොහොමද කියන කාරණාවත් වැදගත්. අපි බලන්නේ දරුවන්ට හොඳම දේ දෙන්න. ඉතාමත්ම අපහසු තත්ත්වයේ තිබුණ රටක් භාරගෙන ඒ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගෙනාවා. වැටුණ රට ගොඩනැඟුවා.මේ රටේ අරගලයත් සමඟ ඇති වුණ ආර්ථික පසුබෑම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවබෝධ කරගෙන ඉතාමත්ම ප්‍රායෝගිකව ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදුවා යැයි ප්‍රකාශ කළාය.
ඡායාරූප – තිලක් පෙරේරා
නෙත්මි පූජනී රත්නායක