16
සෑම පුරවැසියෙකුම බලාපොරොත්තු වන ආකාරයට නීතිය තිබෙන රටක් ගොඩනැඟීම සඳහා පක්ෂපාති නීතියක් වෙනුවට අපක්ෂපාති සාධාරණ නීතියක් මේ රටේ ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේ ජය තහවුරු කරගැනීම වෙනුවෙන් ගම්පොළ පෞද්ගලික බස් නැවතුම්පොළේදී සංවිධානය කර තිබූ ජන හමුවට එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා:
“අපේ රටේ පවතින නීතිය සාධාරණ නෑ. ධනය බලය තියෙන අයට එක නීතියක්, දුප්පත් දුබලයාට තව නීතියක්. අපේ රටේ නීතිය සාධාරණ නම් රනිල් වික්‍රමසිංහ අධිකරණය හමුවට ගෙනියන්න ඕනැ. ඒ වගේම මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්ත පාර්ලිමේන්තුවේ ඉන්න විදිහක් නැහැ. ජනතාවට අවශ්‍ය වී ඇත්තේ නීතිය සාධාරණත්වය දකින වෙනසක්. එය ඉටු කරගන්න හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පමණයි.
“මේ රටේ මත්කුඩු හා පාතාලය විශාල ලෙස ව්‍යාප්තව යනවා. මේවා මේ ලෙස ව්‍යාප්ත වෙන්නේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන ආශීර්වාදය හා රැකවරණය මතයි. මේ රටේ අපරාධකාරයෝ වර්ධනය වුණේ ජනාධිපතිවරුන් යටතේ. මේකෙන් අද එයාලට පුළුවන් හිරේ ඉඳන් අපරාධ කරන්න; කුඩු විකුණන්න; ඩුබායි ඉඳන් මිනී මරන්න; අපරාධ මෙහෙයවන්න; කුඩු එවන්න. එහෙනම් අපට දැන් මෙතෙන්ට වෙනසක් ඕනැ. මේ වෙනස හදන්නේ ජාතික ජනබල වේගය ආණ්ඩුවයි.
“ඒ වගේම අපේ රටේ හැමදාම ආණ්ඩු හැදුවේ අනෙකාට විරුද්ධව තව එකෙක්. එයින් වුණේ ජාතිවාදය වැඩි වුණා; වෛරය වැඩි වුණා; මේ නිසා රටට ඉදිරියට යන්න බැරි වුණා. එහෙනම් මේ රටේ ආණ්ඩු හැදෙන්න ඕන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමඟිය ඇති ආණ්ඩුවක්.
“ඒ වගේම අපේ රටේ සම්පත් ඒ අය කුණු කොල්ලෙට විකුණනවා. එහෙම නැත්නම් විනාශ වෙන්න ඉඩ හරිනවා. පොස්පේට් නිධිය දසක ගණනාවක සිට අමු පස් විදියට පටවනවා. මේවා වෙනස් කරන්න වෙනසක් ඕනැ. අපි පොස්පේට් නිධිය උපයෝගි කර කරගෙන අපට අවශ්‍ය පොහොර ටික හදනවා. දශක ගණනාවක් තිස්සේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය අමු වැලි ලෙස පටවනවා. අපි මෙතන නිස්සාරණ කරලා අධික මිලට ඛනිජ සපයනවා ලෝකයට. මිනිරන් ටිකත් මෙහෙමයි. මේක තමයි කරන වෙනස.
“ඒ අය හදන්නේ රටේ ධනය ඒ අයට එකතු කරගන්න අපි හදන්නේ රටේ එකතුවෙන ධනය ජනතාවට බෙදා හරින්න. එහෙනම් අපට අද අවශ්‍ය වෙලා තියෙන්නේ දේශපාලනයේ වෙනසක්; ආර්ථිකයේ වෙනසක්; වංචා දූෂණ වෙනස් කිරීමේ වෙනසක්; ජාතිවාදය වෙනුවට ජාතික සමඟිය ඇති කරන වෙනසක්. ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ දේශපාලන බලය අත්පත් කරගනිමින්. ඒ සඳහා ඔබ සැම සූදානම් වී මේ රටේ වෙනසක් කරන්න සූදානම් වෙන්න.”
රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මියද මෙහිදී අදහස් පළ කළහ.
ගම්පොළ – සුරංග දිල්හාන්