Home Politics News Room : අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා සහන වෙනුවෙන් මුදල් සොයනවා

News Room : අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා සහන වෙනුවෙන් මුදල් සොයනවා

1
0

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබාදුන් 15%ක පොලී අනුපාතය අනිවාර්යයෙන්ම ලබාදෙන්නේ යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණ සමයක රජය ලබාදෙන සොච්චම් තුටු පඬුරුවලට මේ රටේ විශ්‍රාමිකයන් නොරැවටෙන බව ද ඒ මහතා කීය.

දිගන කොලොන්ගහවත්ත ප්‍රදේශයේදී පෙරේදා (24) පැවැති ජනපතිවරණ ජන හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවැසුවේය.

අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ 2016ට පෙර විශ්‍රාම ගිය සියලු දෙනාට ලබා දෙනවා. ඒ වගේම 2016-2019 කාල වකවානුවේදී විශ්‍රාම ගිය ප්‍රජාවට අහිමි වූ වරප්‍රසාද ද 2020 ගෝඨාභය රජය අහිමි කළ වරප්‍රසාද ද ලබාදීමට කටයුතු කරනවා. විශ්‍රාමිකයන්ගේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක තබා ගැනීම සඳහා 1999 අංක 40 දරන පනත සංශෝධනය කර විශ්‍රාමික ප්‍රජාවගේ සෑම අයිතියක්ම ආරක්ෂා කරන නව පනතක්, නීතියක් ගෙන ඒමට ක්‍රියා කරනවා. වැඩිහිටි ප්‍රජාවට දැන් ලබාදෙන්නේ රුපියල් 3000ක දීමනාවක්. ඒක රුපියල් 5000 දක්වා වැඩි කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

වන් රෑන්ක් වන් පේ (One Rank One Pay) වැඩසටහන ක්‍රියාත්මක කර වීරෝදාර රණවිරුවන්ගේ පොලිස්, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය ඇතුළු සියලු දෙනාගේ වරප්‍රසාද ශක්තිමත් කිරීම මගේ අරමුණයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන දීර්ඝකාලීන විශ්‍රාම වැටුප් ගැටලු විසඳිය යුතුයි. මේ යෝජනා සහ සැලසුම් බොරු පොරොන්දු, රැවටිලි, මංමුළා කිරීම් නෙවෙයි. මේවා කරන්න පුළුවන්ද කියල මගෙන් අහනවා. කරනවයි කියපු දේ ප්‍රේමදාසලා කවදාවත් නොකර ඉඳලා නැහැ. ඒ විශ්වාසය තබාගන්න. දිවංගත රණසිංහ ප්‍රේමදාස මගේ පියාණන්ගේ නාමයෙන් සියලු දේ අනිවාර්යයෙන්ම කරනවා. ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදීම සඳහා පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පත් කරනවා. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප සියයට 24%කින් වැඩි කරනවා. මාසික ජීවන වියදම් දිමනාව රුපියල් 25,000ක් දක්වා වැඩි කරනවා. දැනට පවතින බදු නිදහස් සීමාව එලෙසම පවත්වාගෙන යමින් රාජ්‍ය සේවකයන් ගෙවන 6%- 36% අතර බදු ප්‍රමාණය 1% -24% දක්වා අඩු කරනවා.

මේවා කරන්න සල්ලි තියෙනවද කියලා අපෙන් අහනවා. මුදල් තිබෙනවා. පළමුවෙන්ම අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරිනවා. ප්‍රථමයෙන්ම කපා හරින්නේ ජනපතිවරයාගේ වියදම්. මම මගේ වියදම් කපා හරිනවා. මම රටට බරක් වන ජනාධිපතිවරයකු වෙන්නේ නැහැ. මම පටන් ගන්නේ එතැනින්. එතැනින් මුදල් ඉතුරු කර රටේ ජනතාවට සහන ටික දෙනවා. අනිවාර්යයෙන්ම දූෂණය වළක්වනවා. වෙනත් ආණ්ඩුවල කැබිනට් ඇමැතිකම් කරනකොට සමහරු හිතනවා රෝස මල් යහනා කියලා. සජිත් ප්‍රේමදාස යටතේ ක්‍රියාත්මක වන රජයක කැබිනට් ඇමැතිකම් කියන්නේ කටු අත්තක්. කිසිම දෙයක් සුන්දර නැහැ. මේ බංකොලොත් රටේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට රටේ ජනාතාව දුකෙන් මුදවන්නට කැබිනට් ඇමැතිවරුන්ට විතරක් නොවේ හැම ඇමැතිවරයකුටම ඉතාමත් කඩිසර ලෙස රට දැය වෙනුවෙන් සේවය කිරීමේ වගකීම පැවරෙනවා.

දූෂණය වංචාව හොරකම වළක්වනවා. රජයෙන් කරන සෑම ගනුදෙනුවක්ම ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකක් හරහා ජනතාවගේ දැන ගැනීම පිණිස අපි එළිදක්වනවා. හොරා කෑ වංචා කළ සියලු දෙනා නීතිය හමුවට ගෙන එනවා. සමගි ජන බලවේගයට හොරු එක්ක ඩීල් නැහැ. බදු ගෙවන්නේ නැති ධනවතුන් ඉන්නවා. ගිනි ගණන් බැංකුවලින් ණය අරගෙන ගෙවන්නේ නැති අය ඉන්නවා. ඒ අයට සිද්ධ වෙනවා 21 වැනිදා සිට බදු ටික හරියට ගෙවන්න. බදු ෆයිල් වහපු කාලය ඉවරයි.

මේ රටේ දුක් විඳින ජනතාව රට වෙනුවෙන් කැප කිරීම් කරනකොට වැඩිම කැප කිරීම කරන්න ඕන ජන සමාජයේ ඉන්න සුපිරි පෝසතුන්. වියදම් කළමනාකරණය තුළින් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය ඔස්සේ අනිවාර්යයෙන්ම වැඩසටහන්වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගන්නවා. ආර්ථිකය කඩා වැටිලා විනාශ වෙලා පොදු ජනතාවගේ ප්‍රශ්න වර්ධනය වෙලා. දුප්පත්කම වැඩි වෙලා. මේ රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකය වර්ධන කිරීම නොවේ. ආර්ථිකය කුඩා කිරීමයි. බදු පිට බදු ගහලා විදුලි බිල, ජල ගාස්තු අසීමිත ලෙස වැඩි කළා. වැඩි කරන්න ඕනෑ සියලු දේ මහා කන්දක් උසට වැඩි කරලා. ඡන්ද කාලය ආවම සොච්චමකින් ජනතාව රවට්ටන්න හදනවා. මේ රජය කරන මුළා කිරීමට රටේ ජනතාව රැවටෙන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ අප එකට වැඩ කරනවා. ජනතාවගේ කරපිට පනවපු අසීමිත බර ඉවත් කරනවා. දුප්පත් ජනතාවගේ දුප්පත්කම දුරු කරන්නට ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ජීවන බර අඩු කරනවා. ආදායම් මාර්ග වැඩි කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ අප එකට වැඩ කරනවා. ඒ සමඟින් ජනතාවගේ කරපිට පැටවූ අසීමිත බර අප අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. දුප්පත් ජනතාවගේ දුප්පත්කම තුරන් කරන්න ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ජීවන බර අඩු කරනවා. ආදායම් මාර්ග වැඩි කරනවා. තාරුණ්‍යයට තොරතුරු තාක්ෂණ යුගය, සිසු පරපුරට ඩිජිටල් ශ්‍රී ලංකා යුගය බිහි කරමින්, රටේ තිබෙන පාසල් දස දහස් අනූහය සහ සියලු රජයේ විශ්වවිද්‍යාල, සුහුරු පාසල්, විශ්වවිද්‍යාල බවට පත් කරනවා.

මට සිටිනවා රටට වැඩක් කරන්න ශක්තිමත්ම කණ්ඩායමක්. ලොකුම උගතුන්, බුද්ධිමතුන්, සුපිරිසුදු මහජන නියෝජිතයන් පිරිසක් සිටිනවා, සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම නිකැලැල්, පිරිසුදු, හොර ඩීල් නැති කණ්ඩායමක්. ඔබගේ ඡන්දය රැගෙන, ඔබ දුන්න මන්ත්‍රීකම් අද බාර් පර්මිට් එකට,වයින් ස්ටෝර්ස් එකට මුදලට, වරදානවලට විකුණපු අයත් ඉන්නවා. අපේ අය අතර එහෙම අය නැහැ. මෙරට විශාලතම වාත්තීයවේදීන්ගේ සංවිධානය, බුද්ධි මණ්ඩපය, නීති සංවිධානය, ආචාර්ය, මහාචාර්යවරුන් වැනි උගතුන්, විද්වතුන් සිටින්නේ අපත් සමඟයි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්, කඳුරට ජනතා පෙරමුණු නායක වෙළුසාමි රාධක්‍රිෂ්ණන්, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහත්වරුන් ද මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ද කතා කළහ.

මෙම ජන හමුව කුණ්ඩසාලේ, තෙල්දෙණිය, උඩදුම්බර, හේවාහැට ආසනවල සංවිධායකවරුන් වන වන ආර්.ජී. සමරනායක, චන්න ගලප්පත්ති, සනත් බණ්ඩාර, අර්ල් ගුණසේකර යන මහත්වරු සංවිධානය කරනු ලැබූහ.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here