6
ලෝකයේ දැවැන්තව ආර්ථිකය කඩා වැටුණ ද වේගයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරන්න මහින්ද රාජපක්ෂ යුගයට සහ මහින්ද චින්තනයට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
2015 වර්ෂයට පෙර ස්වංපෝෂිත රටක්ව තිබූ ශ්‍රී ලංකාවට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලන චිත්‍රයක් මවා පෙන්වමින් පරාජයට පත්කළ බව සිහිපත් කරන ඒ මහතා එයින් පසුව රට කෙමෙන් කෙමෙන් ආපස්සට ගමන් කළ බව ද මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් මේ රටේ සංවර්ධනය ආරම්භ කිරීමට තමා සූදානම් බව ද අවධාරණය කරයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දිවුලපිටිය නගරයේදී පෙරේදා (24) පැවති ජනහමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ නාමල් රාජපක්ෂ මහතා,
“අප අභියෝගවලට මුහුණදීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම කිසිදු අභියෝගයක් මඟහැර නැහැ. 2005දී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව අපේ බලවේගය භාර ගත්තා. ඒක අපි ජයග්‍රහණය කළා. ඒ වගේම දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් එදා පැමිණියා. ලෝකයේ දැවැන්තව ආර්ථිකය කඩා වැටෙන විටත් ඒ අතර ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය බවට පත් කරන්න එදා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා. අප 2015දී පරාජයට පත්වුණා. එදා මේ රටට ආදරය කරන දේශපාලන බලවේගය යහපාලනය කියා චිත්‍රයක් මවාගෙන පරාජය කළා. එය පරාජය කළා පමණක් නොවෙයි රටේ අනන්‍යතාව විනාශ කළා. අප 2015ට පෙර ස්වයංපෝෂණය වෙලා තිබුණා. මිනිස්සුන්ට තුන්වේල කන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. 2015න් පසුව ඒ තත්ත්වය නැති වුණා. අප බලශක්තියෙන් අංගසම්පූර්ණ වෙලා තිබුණා. 2015න් පසුව එක මෙගාවොට් එකක් හෝ විදුලිබල පද්ධතියට එක් කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත්ත උමා ඔය, සාම්පූර් බලාගාරය අතරමඟ නතර කළා, ආර්ථිකය බලා සිටියදී කඩා වැටුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වුණා. ත්‍රස්තවාදී බිය, පාසල මුර කරන බිය, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය අම්මා, තාත්තාට ඇති වුණා.
2018 අපව මහ පාරේ ඇවිද්දවනවා කිව්වා. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානගත වීම නිසා අප විශ්වාස කරන දේශීය චින්තනය සහ ප්‍රතිපත්ති ඒ දේශපාලන කඳවුරේ නැති නිසා අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදුවා. ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා පමණක් නොවෙයි එතැනින් පසුව පැමිණි හැම මැතිවරණයක්ම අප දිනුවා. කොවිඩ් – 19 වසංගතය ආවා. ලෝකයේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. අපටත් තිබ්බා මොන ප්‍රශ්න ආවත් අප ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සුන්ට මැරෙන්න දීලා බලාගෙන ඉන්න. එන්නත් ටික ගේන්නේ නැතිව ලෝකයේ ඇතැම් රටවල් වගේ බලාගෙන ඉන්න තිබුණා. නමුත් එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ කියලා. මිනිස්සු ජීවත් වන තැනට අප වැඩ කළා. අප ඒ අභියෝගයත් ජයග්‍රහණය කළා. කුමන්ත්‍රණයක් ආවා නැවත වරක් මේ රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. ඒ අනුව අපේ ආණ්ඩුව වැටුණා. අපට තීන්දු කරන්න තිබුණා රාජ්‍යය වට්ටනවා ද ආණ්ඩුව වට්ටනවා ද කියලා. අප තීන්දු කළා ආණ්ඩුව අඩියක් පස්සට අරන් රාජ්‍යය ආරක්ෂා කරනවා කියලා. අද බංගලිදේශයට වෙලා තිබෙන්නේ කුමක් ද? රාජ්‍යය කඩන් වැටිලා. කවුරු පාලනය කළත් රාජ්‍යය කඩන් වැටිලා.
අප රාජ්‍යය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පස්සට ගත්තා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ අප ආණ්ඩුවක් හැදුවා. අප උපරිම සහාය ලබාදුන්නා. සමහර පෝලිම් ඉවත් වුණා. ඇතැම් පෝලිම් දික්වුණා. තෙල් පෝලිම ඉවත් වුණා. පාස්පෝට් පෝලිම දික් වුණා. අප අලුත් පරම්පරාව බලාපොරොත්තු වන තැනට මේ රට රැගෙන යන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රතිපත්ති අප අනුගමනය කළ යුතු වෙනවා. අප විශ්වාස කරනවා මේ රට නවීකරණය කළ යුතුයි කියලා. නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් අප ආරම්භ කරන්න ඕනෑ. රාජ්‍ය සේවකයාට ගෞරවයක් දෙන්න ඕනෑ. අද සමහර දේශපාලන නායකයෝ රාජ්‍ය සේවයට තිබෙන තැන බැලුවාම, ඒ අයගේ අදහස් බැලුවාම පහත් කරලා කතා කරන විදිය බැලුවාම රාජ්‍ය සේවය නිසි ගෞරවය ලැබෙනවා ද නැද්ද කියන ප්රශ්නය අපට තිබෙනවා. අපේ වෘත්තීය සමිතිවලට සලකන විදිය බැලුවාම මේ රටේ වැඩ කරන පන්තියට සලකන ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීන්දු කළේ ගෞරවාන්විත රාජ්‍ය සේවයක්, වගේම වෘත්තීය සමිති ව්‍යාපාරයට ගරු කරන දේශපාලන බලවේගය අප ආරක්ෂා කරන්න ඕනෑ. අප හැදිච්ච පදනම එතන. අප විශ්වාස කරනවා රාජ්‍ය සේවය තාක්ෂණයත් සමඟ බද්ධ විය යුතු වෙනවා.
දරුවන් තවදුරටත් පාස්පෝට්, රියැදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත ගන්න පෝලිමේ ගිය යුගය අවසන් කළ යුතු වෙනවා. සැබෑ පෝලිම් යුගය අවසන් වන්නේ එවිටයි. 2018/2019 තෙල් පෝලිම සහ ගෑස් පෝලිම ඇති වුණා. 2021දී එවැන්නක් වුණා. ලෝක ආර්ථිකය සහ රටේ ආර්ථිකය සමඟ ඇතැම් දේ වෙනස් වෙනවා.”
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි: “හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිම් ඉවර කළා. ඒ නිසා රනිල්ගේ වේදිකාවට නැග්ගොත් හොඳයි නේද කියා මගෙන් ගොවියෙක් ඇසුවා. එදා රජෙක් නැති අවස්ථාවකට ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පලන්ඳවපු පරපුරේ අප ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. යුද්ධය අවසන් කළ ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ. මේ රට ආරක්ෂා කළේ ඔහුයි. යුද්ධය අවසන් කළේ රණවිරුවන් කියා ඇතැමුන් කියනවා. නායකයෝ කී දෙනෙක් හිටියා ද? යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දුන්නා. මැයි 9 අරගලය අප දන්නවා. එදා යුද්ධය පවතින කාලයේ අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් ඝාතනය කළා. එදා මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරය තුළ මරා දමන්න ඇතැමුන් උත්සාහ කළා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළා. නමුත් ජාතියේ වාසනාවට මහින්ද රාජපක්ෂ මහතා එදා බේරුණා.”
විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා: අද අපේ කඳවුර වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ඉන්නවා. නමුත් වරදාන, වරප්‍රසාද වෙනුවෙන් අපේ කඳවුරෙන් යන පිරිසකුත් ඉන්නවා. මේ මැතිවරණ කොට්ඨාසය ඓතිහාසික එකක්. වම නියෝජනය කළ දැවැන්තයන් මේ ආසනයේ ඉන්නවා. නමුත් ඒ අයගේ පවුල්වල විශාල පිරිසක් විවිධ වරප්‍රසාද වෙනුවෙන් වෙන්ව යන මොහොතක මම මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී ඉන්නවා. ස්වභාවධර්මය එදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පුටුව දක්වා ගෙනාවා. අප අසීරු අවස්ථාවල කටයුතු කරනවා. ඒ අභියෝග ජය ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි, දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
යුද ගැටුම් නිමා කරමින් රට සංවර්ධන මාවතට යොමු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපහාර පිරිනමමින් මිනුවන්ගොඩ ආසනයේ ජනතාවගේ උපහාර මෙහිදී පිරිනැමුණු අතර එම තිළිණය රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා අතින් මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිදුවිණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – සුදත් නිශාන්ත
මහින්ද අලුත්ගෙදර, දිවුලපිටියේ සිට…