5
ආර්.කේ. චන්ද්‍රානන්ද ද සිල්වා
මෙරට දෙවැනි ජනාධිපතිවරණය 1988 වර්ෂයේ දෙසැම්බර් 19 වැනිදා පැවැත්විණි. එය ජනාධිපතිවරණ ඉතිහාසයේ මතක සටහන් තැබූ අවස්ථාවකි. එවර ජයග්‍රාහකයා වූයේ ආර්. ප්‍රේමදාස මහතාය. එහෙත් එම මැතිවරණයේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින්, අපේක්ෂිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒ පිළිබඳ ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළාය. එයින් වග උත්තරකරුවන් දෙදනකු නම් කෙරිණ. ඒ, පළමු වග උත්තරකරු, ජයග්‍රාහී අපේක්ෂක ආර්. ප්‍රේමදාස මහතාය. දෙවැන්නා එවකට මැතිවරණ කොමසාරිස් ධුරය දැරූ ආර්. කේ. චන්ද්‍රානන්ද ද සිල්වාය. මේ පිළිබඳ වාර්තා එවකට පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණු අතර එම තොරතුරු දැන ගැනීමට ජන සමාජයේ මහත් උනන්දුවක් පැවතිණ. වර්ෂ 1992 අගභාගයේදී ඊට අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කරන තුරු එය එසේම විය.
එසේම, හිටපු ආරක්ෂක ලේකම්වරයකු වශයෙන් ද අද අපේ කථානායකවරයා වන, ආර්. කේ. චන්ද්‍රානන්ද ද සිල්වා මහතා පිළිබඳ වෙනමම කතා කළ හැකිය. එය එසේ තිබියදී මේ ඔහු පිළිබඳ හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කළ එසමය පිළිබඳ මතක අලුත් කිරීමකි. කෙටියෙනි.
එමෙන්ම, 1994 මහමැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය මතභේදකාරී විය. ඒ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ඡන්ද පෙත්සම් ද ඉදිරිපත් විය. ඒ අනුව එයින් ජය ලැබූ ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් විණ. එසේම, එම ප්‍රතිඵලය ප්‍රකාශයට පත් නොකොට අවලංගු කරන්නැයි එහිදී පැරදුණු පක්ෂ, ස්වාධීන කණ්ඩායම් ඉල්ලා සිටිය ද එය එසේ නොවුණි. එහෙත්, ඒ පිළිබඳ පසුකාලීනව චන්ද්‍රානන්ද ද සිල්වා මහතා කරුණු දැක්වීය. එවර ඔහු ඊට හේතු වශයෙන් පෙන්වා දුන්නේ ‘ මං එහෙම කළොත් හොඳ ආරක්ෂක තත්ත්වයක් නැවත එහි ඇති නොවන බවට ඇතිවූ හැඟීම නිසයි’ කියමිනි.
මැතිවරණ කාලවලදී රජයේ නිලධාරින්ට ස්වාධීනව කටයුතු කිරීමට බාධා කෙරෙන ඒ ඒ කාල වකවානුවලදී බලයේ සිටින දේශපාලන බලවතුන්, මැරයන් ආදීන් පිළිබඳ කතාබස් මෙකල මෙන්ම එකල ද විය. ඒ පිළිබඳ එවකට මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් අද අපේ කථානායකවරයාගෙන් ජනමාධ්‍යවේදීහු නිතර ප්‍රශ්න කළහ. එවිට එවකට මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් චන්ද්‍රානන්ද ද සිල්වා මහතා ඊට නොපමාව, කෙළින් දුන් පිළිතුරු පිළිබඳ අදටත් ඒ මහතා පිළිබඳ කතාබහට ලක් වන විට නිතැතින් කාගේත් මතකයට නැගෙනු ඇත.
‘කිසිම රජයේ නිලධාරියකු මැතිවරණ රාජකාරිවලදී අසරණ විය යුතු නැහැ. මැතිවරණයකදී අපිට ඇමැතිවරයාත් එකයි, සාමාන්‍ය ඡන්ද දායකයාත් එකයි. මැතිවරණ නීතියට අනුව මැතිවරණ රාජකාරි කරන කිසිම නිලධාරියකු අසරණ වෙන්න ඉඩක් නැහැ.’
එසේම, ‘ ඡන්දය නිම වන තුරු දාමරික සිරකරුවන් නිදහස් කරන්න එපා’, මැතිවරණ කොමසාරිස්වරයාව සිටියදී අපේ කථානායකයා වරක් නීතිපතිවරයාගෙන් එසේ ඉල්ලීමක් කළේය. ‘ පොලිසියට විරුද්ධ පැමිණිලි පිළිබඳ පියවර ගන්නවා’, ‘පොතේ හැටියට මම ඡන්දයට සූදානම්’, ‘මැතිවරණ දූෂණ සෙවීමට කොමිෂන් සභාවක් ඕනෑ’ මැතිවරණ ඉතිහාසය මෙන්ම මැතිවරණ කොමසාරිස්වරුන්ගේ ඉතිහාසය දෙසට හැරී බලන විට, ආර්.කේ. චන්ද්‍රානන්ද ද සිල්වා නිතතින්ම කියැවෙන නමක් වී ඇත්තේ මේ අනුවය. ජනමාධ්‍ය ඔස්සේ ද නිතර වාර්තා කෙරුණු අපේ කථානායකයාණන්ගේ කියමන් කිහිපයකි ඒ. පසුකාලීනව ඒ ඇතැම් අදහස්, පෙන්වාදීම් කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමු වූ අතර ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැණින.
‘මැතිවරණයකදී කරන ප්‍රචණ්ඩ ක්‍රියා, මැරකම්, වංචා දූෂණ ආදිය පිළිබඳ කල් නොයවා ඒ අවස්ථාවේදීම ක්ෂණිකව දඬුවම් කිරීමට හැකි නීති සකස් කළ යුතුයි. දඬුවම් දීම කල් යෑමෙන් වන්නේ වරදකරු පැන යෑමත් මැතිවරණ ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වීමත් බව ද ඔහු අවධාරණය කළේය. මේ අනුව අදටත් එදා අනාගතය දකිමින් මේ රාජ්‍ය නිලධාරිවරයා කළ පෙන්වා දීම් වැදගත් වනු ඇත.
නුවන් මහේෂ් ජයවික්‍රම