2
ජනතා සහන වෙනුවෙන් මුදල් හොයා ගන්නා වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයට තිබෙන බව එහි නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා (22) ‘රට අනුරට’ ජාතික ජන බලවේගය බණ්ඩාරගමදී පැවැත්වූ ජන රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,
රට පුරාම පවතින ක්‍රමය වෙනස් කිරීමේ උවමනාවක්, මතයක් වාගේම අරමුණක් තිබෙනවා. මෙතෙක් නොතිබුණු අවස්ථාවක් එම ක්‍රමය වෙනස් කරන්න උදා වී තිබෙනවා. ඒ සඳහා මෙතෙක් බලා සිටි අයට මෙම සැප්තැම්බර් 21 වැනිදා ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවා රට වෙනස් කිරීමේ ආරම්භය ගන්න අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ අප එම වෙනස් කිරීම ආරම්භ කරන්න සූදානම්. 22 වැනිදා සිට අප ඒ වැඩේට බහිනවා. වංචාවේ, දූෂණයේ ගිලී තිබෙන ආණ්ඩුකරණය වෙනුවට එයින් මුදා ගන්නා ආණ්ඩුකරණයක් ඕනෑ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරමයි. මහජනයාට වඩා උඩින් සඳලුතලයේ ඉන්න දේශපාලනඥයන් සහ පතුලේ ඉන්න ජනතාවක් වෙනුවට හැමෝම සම තත්ත්වයේ හිඳිමින් කටයුතු කෙරෙන වෙනසක් ජාතික ජන බලවේගයෙන් සිදු කරනවා.
පොලිසියේ මහත්වරුන්ටත් තමන්ගේ යුනිෆෝම් එකේ, තමන්ගේ සහ රැකියාවේ ගෞරවය තබාගෙන කිසිම දේශපාලනඥයකුට යටත් නොවී නීතිය සාධාරණව ඉටු කිරීම සඳහා රටක් හදන්න ඕනෑ. ඒ වෙනස කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින්. මුළුමනින්ම කඩාවැටී, සාමාන්‍ය පුරවැසියකුට ඉක්මනින්ම තමන්ගේ කටයුතු කරගත නොහැකි මට්ටමේ පවතින රාජ්‍ය යන්ත්‍රණය යළි ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයෙන්. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපනයත් මුළුමනින්ම වෙනස් කරන්න ඕනෑ. විෂයයන් නවීකරණය කරන්න ඕනෑ. ලෝකයේ අලුත් විද්‍යාව හා තාක්ෂණය උරා ගන්නා, මවුපියන්ට බරක් නොවන අධ්‍යාපනයක් අප හඳුන්වා දෙනවා. ඒ අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක්. ක්‍රමානුකූලව මෙම කටයුතු සිදු කරන තෙක් ජනතාව ජීවත් කරවන්න ඕනෑ.
අපේ පාලනයක් යටතේ පියවරෙන් පියවර රට ඉදිරියට ගෙන යන අතර, දිළිඳු ජනතාව ආණ්ඩුව විසින් බලා ගන්නවා. ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය ලබාගත නොහැකි පුරවැසියන්ට මාසයකට රුපියල් 10,000කට වැඩි දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. ජීවිතාන්තය දක්වා නොවෙයි, මේ ආධාරය ලබා දෙන්නේ, රට ගොඩනඟමින්, ප්රතිලාභ ලැබෙන තුරු සෞඛ්‍යාරක්ෂිතව, දරුවාට අධ්‍යාපනය ලබා දෙමින් ජීවත් වෙන්නයි.
රැකියාවක් කරන කෙනාටත් බඩු මිල, සෞඛ්‍ය වියදම් වාගේම දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරා ගන්න බැහැ. ඒ නිසා ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධ බදු ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මුළුමනින්ම ඉවත් කරනවා.
ජාතික ජන බලවේගය රට ගොඩනඟමින් යන අතර, ජනතාව රැකබලා ගැනීම ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් අය කරගත හැකිව තිබෙන නමුත්, අය කරගෙන නැති බදු රුපියල් කෝටි 110,000ක් තිබෙනවා. ජනතාවගෙන් අය කර ගත් සමහර බදු වර්ග ඒ ජාවාරම්කාරයන් ආණ්ඩුවට ගෙවා නැහැ. ආණ්ඩුවට සම්බන්ධ අයගේ අරක්කු ෆැක්ටරි තුනකින් විතරක් රුපියල් කෝටි හයසිය ගණනක් එකතු කර ගන්න තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නාස්තිය නතර වෙනවා. හොරකම නතර කර වංචාව දූෂණය නතර කර අය කරගත යුතු බදු අය කරගෙන අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවනවා. ජනතාවට ලබා දිය යුතු සහන ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට සල්ලි හොයා ගන්න වැඩපිළිවෙළක් තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා,
සැප්තැම්බර් මාසෙ 22 වැනිදා වෙනකොට ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙන බවට සහතිකය අද ඔබ දීලා තිබෙනවා. මේ මැතිවරණය ජනතාව බලා සිටි මැතිවරණයක්. ලංකාවේ දේශපාලන ඉතිහාසය බැලුවොත් දේශපාලන කඳවුරු දෙකක් තිබ්බා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන කඳවුරු දෙක අතර බලය හුවමාරු වුණා. ගම්වල ජනතාව ඔය පක්ෂ දෙකට බෙදිලා හිටියා. එහෙම වෙන්න තර්කානුකූල හේතුවක් තිබුණා. මේ දෙක අතර ලොකු වෙනසක් දැනුණා. දැනට අවුරුදු පහකට හයකට කලින් මේ තත්ත්වය වෙනස් වුණා. මේ වට්ටපු රට ගොඩගන්න මේ ජනාධිපතිවරණය අප දිනන්න ඕනෑ. අප මේ වට්ටපු රට ගොඩගන්න ඕනෑ. ඒක අමාරු වැඩක්. ඒක කරන්න හැකියාව තිබෙන්නේ දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනඟපු, දැවැන්ත මහජන සහායක් ලබන, අවංක එඩිතර නායකත්වයක් සහිත දේශපාලන නායකයකුට සහ දේශපාලන ව්‍යාපාරයකට පමණයි. එහෙම ව්‍යාපාරයකට තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ මහතා, ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.
උපාලි කරුණාරත්න