1
ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරයා තෝරාගැනෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් මස 21 දාට යෙදී තිබේ. 1972 දී ජනාධිපති ධුරය හෙබවූ විලියම් ගොපල්ලව මැතිතුමා හැරුණ කල 1978 සිට මහජන ඡන්දයෙන් තෝරා පත් කරගනු ලැබූ විධායක ජනාධිපතිවරුන් අතරින් දෙවතාවක්ම ජනාධිපති ධුරය හෙබවූ නායක නායිකාවන් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන හා ස්වාධීනව තරග කරන අපේක්ෂකයන් 39ක් වන බවයි වාර්තාවන්නේ. 1978 දී පළමු විධායක ජනාධිපතිවරයා තෝරාගත් මැතිවරණයට වඩා අතිශයින් උණුසුම් වූ හා සංකීර්ණ ස්වරූපයක් ගත් මැතිවරණයක් අප හමුවේ ඇති බවයි පෙනී යන්නේ. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන් අතරින් ජනතාවගේ බහුතර කැමැත්ත දිනාගනු ලබන අපේක්ෂකයාට ශ්‍රී ලංකාවේ අනාගතය භාරවනු ඇත.
ප්‍රචාරණ යන්ත්‍රණය
මීට පෙර පැවැත්වූ ජනාධිපතිවරණ මැතිවරණවලට වඩා හාත්පසින්ම වෙනස් මැතිවරණයක් සේ මෙවර මැතිවරණය පෙනීයන්නේ ගෙවී ගිය වසර කිහිපය තුළ රට මුහුණ පෑ ආර්ථික, දේශපාලන පසුබෑම් රාශියකට මුහුණ දුන් රටවැසියන්ට ප්‍රධාන අපේක්ෂකයන් සියල්ලන්ගේ පක්ෂ ප්‍රතිපත්ති මෙන් ම ඔවුන්ගේ සුදුසුකම් හා දේශපාලන පරිණතභාවය ද සැලකිල්ලට ගනිමින් වඩාත්ම සුදුසු පුද්ගලයා කවුරුන් ද කියා තීරණය කිරීමට සිදුවී ඇති බැවිනි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමාවූවක් නොවේ. අපගේ අසල්වැසියා වන ඉන්දියාවේ ද දක්නට ලැබෙන්නකි. අමිතා බච්චන්, සිවාජි ගනේෂන්, කමල් හසන්, මුරලි, එම්.ජී.රාමචන්ද්‍රන් ඉන් කිහිප දෙනෙකි. ඉන්දියාව හා යුරෝපයේ නළු නිළියන් හා දේශපාලනය අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වා ඇති මැතිවරණ රාශියක් හා ඒවා පැවැත්වූ ආකාරය පිළිබඳ මගේ මතකය 1956 මැතිවරණය තරම් ඈතට දිව යයි. 1956 අප්‍රේල් 5, 7, හා 10 දිනවල පැවැත්වුණු ආකාරයේ දින කිහිපයක් පුරා පවැත්වුණු මැතිවරණ රටාවේ අවසානය එය විය. 1960 මාර්තුවේ සිට මෙතෙක් පැවති සියලු මැතිවරණ එක් දිනක් තුළ පැවැත්වීමේ සම්ප්රදායකි අද අප අත් විඳින්නේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරාගැනීමේ අතිශය වගකීම් සහිත හා භාරධූර තීරණාත්මක සන්දර්භයෙහි ප්‍රධාන තරගකරුවන් සියල්ලන්ම දැනටමත් තම ප්රචාරක සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනු අපට පෙනේ. පෙර කිසිම දිනෙක මැතිවරණයක් සඳහා නොතිබුණු ආකාරයේ ප්රචාරක මෙවලම්, ක්රමෝපායයන් රාශියක් භාවිත කිරීමට සියලු අපේක්ෂකයන්ට ඉඩකඩ ලැබී ඇත.
විද්‍යුත් මාධ්‍යයේ රූපවාහිනියේ සිට you tube, Tik Tok, instagram, face book හරහා ද මුද්‍රිත මාධ්‍යයේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් හා වාර සඟරා ද, මුද්‍රිත අතිරේක, පෝස්ටර්, බැනර්, බිල් බෝඩ් ආදී දෘශ්‍ය මෙවලම් ද ඒ අතර ප්‍රධාන වේ. මේ සියල්ලට අමතරව සිනමා, රූපවාහිනී, සංගීත, වේදිකා නාට්‍ය ලෝකයෙහි ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන්, මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්, සාහිත්‍යධරයන් සහභාගි කරගන්නා ආකාරය ද අපට දැකගන්නට හැකිවී ඇත. පෙරදා පැවති මෙබඳු මැතිවරණ සඳහා දේශපාලකයන් හා කලාකරුවන් අතර ප්‍රචාරණ යන්ත්රණයේ දී දකින්නට තිබුණු සම්බන්ධතාව කෙබඳු වී ද ? එවැනි චරිත වේදිකාවට ගෙන ඒමෙන් අපේක්ෂකයන්ට ලැබුණු ප්‍රතිළුලයක්, යහපතක් වී ද ? ජනතා ආකර්ෂණය දිනාගත් නළුවකු නිළියක, ගායක ගායිකාවක් වේදිකාවට නංවාගනිමින් ඡන්දදායකයන්ගේ මනාපය දිනාගත හැකිය යන්න යථාර්ථවාදී ද නොවේනම් අවාසිදායක ද යන්න විමසිය යුතු තත්ත්වයක් වේ.
ඡන්ද දායකයන්ට බලපෑම
අතීත දේශපාලන වේදිකාවල දී හිටිවන කවි වැනි ප්රචාරක මෙවලමක් භාවිත කොට ඇති බව පැවසේ. ජනතාව කතාවකට වඩා හිටිවන කවියකින් මතුකෙරෙන විනෝදයට කැමතිය. දේශපාලන වේදිකාව වර්ණවත් කිරීමට ආරාධිත කලාකරුවන් ගෙන ඒමට පෙර අපේක්ෂකයන් අතරම එවැනි හැකියාවන් සහිත චරිත වූ බව අපි දනිමු. මැතිසබයේ ලෙළදුන් කවි අසිපත ලෙසින් හැඳින්වූ සෝමවීර චන්ද්‍රසිරි, ටී. බී. තෙන්නකෝන්, කලල්ඇල්ලේ ආනන්ද සාගර වැනි කවියන් ද ටී. බී. ඉලංගරත්න, අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල ආදීන් දේශපාලනයෙහි කලාකාර භූමිකා රඟපෑ කිහිප දෙනෙකි. ප්රගතිශීලී වාමාංශික දේශපාලනයට නැඹුරුව සිටි කේයස් අදීන කවියකු ලෙස ප්රකටවූවෙකි. කලාකරුවන් හා දේශපාලනය අතර වූ මුල්කාලීන සම්බන්ධය එවැනි සුන්දර වූවක් වූවද පසුකාලීන දේශපාලන හා මැතිවරණ ව්‍යාපාර සමග සෘජුව ම බැඳුණු ව්‍යාපෘති බවට පත් වූ අයුරු දැක ගන්නට ලැබේ.
1970 මැතිවරණ ව්‍යාපාරයේ දී සමගි පෙරමුණ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය) වෙනුවෙන් නළු නිළියන්, ගායක ගායිකාවන් තමන් කැමැති දේශපාලන පක්ෂ තෝරාගෙන වේදිකාවට ගොඩ වූ බව මතක ය. සමගි පෙරමුණ වෙනුවෙන් නළු නිළි හවුලක් පිහිටුවා කටයුතු කළ පිරිස් අතර ඩොමී. ජයවර්ධන, ෂේන් ගුණරත්න, එල්. එම්. පෙරේරා, ජී. ඩී. එල්. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, කරුණාසේන ජයලත්, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, ඇන්තනි සී. පෙරේරා, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ හා තවත් කිහිප දෙනෙක්ම සිටි අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගාමිණී ෆොන්සේකා, රුක්මණී දේවි, එඩී ජයමාන්න, නෙල්සන් කරුණාගම හා තවත් පිරිස් සිටි බව මතක ය. එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, ලතා වල්පොළ වැනි ගායක ගායිකාවන් ද වේදිකාවට ගොඩ වූ බව කියවේ. කලාකරුවන්ගේ භූමිකා දේශපාලනය හා එකට බැඳී වර්ධනය වූවා පමණක් නොව ඡන්ද දායකයන් කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ද සමත් වූ බව පසු කාලයේ මෙරට සිදු වූ දේශපාලන පෙරළි විමසීමේදී දැනගන්නට හැකිය. 1977 හා ඉන්පසු මැතිවරණවල දී මෙරට සිදු වූ දේශපාලන පෙරළි තුළ කලාකරුවන්ගේ භූමිකා කෙසේ බලපා තිබේ ද යන්න ඉදිරි ලිපියකින් විමසමු.
බුද්ධදාස ගලප්පත්ති