Home Politics News Room : පළමු ජනාධිපතිවරණයේ කොල්වින්ගේ පොදු අපේක්ෂක භූමිකාව බිඳවැටේ!

News Room : පළමු ජනාධිපතිවරණයේ කොල්වින්ගේ පොදු අපේක්ෂක භූමිකාව බිඳවැටේ!

1
0

“ ජනාධිපතිවරණය‍ට ඉදිරිපත්වී සිටින අය අතරින් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා දක්ෂයි. අවංකයි. එඩිතරයි. එහෙත් අකීකරුයි. එතුමා අනුගමනය කරන දර්ශනය හොඳ දර්ශනයක් නොවේ. මමත් දක්ෂයි, අවංකයි, එඩිතරයි, ම‍ගේ පක්ෂයේ ප්‍රතිපත්ති රටේ ජනතාවට අතිශයින් හිතකරයි ”

1982 ජනාධිපතිවරණය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැතියේ දැඩි අර්බුදයකය. පක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබිණි. එවැනි නායිකාවක විසින් ගන්නා ලබන තීරණවල වලංගුභාවයද ප්‍රශ්නකාරී විය. ඒ අනුව පක්ෂය දෙකට බෙදුණු අතර මධ්‍යම කාරක සභාවේ 13ක් බණ්ඩාරනායක මහත්මියට එරෙහි විය. ඒ අතර පක්ෂයේ නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායක මහතා ද විය. පී.බී.ජී. කලුගල්ල, අනුර බණ්ඩාරනායක, ආර්.පී. විජේසිරි, හලීම් ඉෂාක්, සුමතිපාල ජයවර්ධන, ජේ.ආර්.පී සූරියප්පෙරුම, ඩික්සන් සිල්වා, මංගල මුණසිංහ, අලෙවි මවුලානා, බැසිල් රාජපක්ෂ, කුමාරි බාලසූරිය අනෙක් සාමාජික, සාමාජිකාවන් විය. පක්ෂයේ අයිතිය ගැන ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම නිසා පක්ෂ මූලස්ථානයට සීල් තැබීමට කටයුතු කෙරිණි.

මෙවැනි පසුබිමක ජනාධිපතිවරණයට විපක්ෂය විසින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට පොදු මතයක් පළ වී තිබිණි. එහිදී අපේක්ෂකයා උගත්, බුද්ධිමත් අයකු විය යුතු බවට කාගෙත් එකඟත්වයක් පළවී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණද පොදු අපේක්ෂකයකු පිළිබඳ කතා කර තිබූ අතර එහිදී සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ නම යෝජනා වී තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාද මේ සඳහා කැමැත්ත පළ කර තිබූ බව වාර්තා වුවත්, පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකත්වය එයට විරුද්ධව සිටි බව වාර්තා වේ. මේ කතාබහ ඉදිරියට යන විට තවත් පිරිසක් වමේ පොදු අපේක්ෂකයා ලෙස කොල්වින් ආර්. ද සිල්වා පොදු අපේක්ෂකයා විය යුතු බවට පෙන්වා දුන්හ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ කොල්වින්ට තදින්ම විරුද්ධව සිටියේය.

මේ අතර දෙමට‍ගොඩ මංසන්ධියේදී පැවැති කොමියුනිට්ස් පක්ෂ රැස්වීමකදී පක්ෂයේ ලේකම් කේ.පී. ද සිල්වා මහතා කියා සිටියේ වමේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වන උත්සාහය තම පක්ෂය අත නොහරින බව ප්‍රකාශ කළේය. එහිදී තම උත්සාහය සඳහා ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂ කැමැති බවත් කීවේය. ඒ සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය දක්වාම අවස්ථාවක් පවතින බව ද ඒ මහතා පවසා තිබිණි.

මේ වන විට ලංකා සමසමාජ පක්ෂයේ නායක කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් සම්පූර්ණ වී තිබිණි. ඒ අනුව විශේෂ උපහාර රැස්වීම් මාලාවක්ද සංවිධානය කෙරිණි. මේ සමඟම කොල්වින් ආර්. ද සිල්වා මහතා “ඒකාධිපති වියරුව පරදවමු” යනුවෙන් රට පුරා රැස්වීම් මාලාවක්ද පැවැත්වීය. මේ අනුව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාක්මක වීමත් සමඟම පොදු අපේක්ෂකයා ලෙස කොල්වින් ආර්. ද සිල්වා නාමය ප්‍රකට වෙමින් පැවැතිණි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කළ ප්‍රකාශයක් නිසා කොල්වින් ආර්. ද සිල්වා මහතාට තවත් අවධානය මැතිවරණ වේදිකාවේ යොමුවන බව පෙනෙන්නට තිබිණි. ජයවර්ධන ජනාධිපතිවරයා, අනුරාධපුරයේ පැවැති රැලියකදී කියා සිටියේ, මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින මට විරුද්ධ අපේක්ෂකයන් අතරින් ජනාධිපති පදවියට සුදුසු අය සිටින්නේ එක් අයකු පමණයි. ඔහු කොල්වින් ආර්. ද සිල්වා බව ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කළේය. මාතලේ රත්තොට ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලේ පැවැති තවත් කතාවකදී ජනාධිපති ජයවර්ධන මහතා කොල්වින් ආර්. ද සිල්වා මහතා සහ තමාගේ සමානතා හා අසමානතා ගැන මෙසේ කීය.

“ජනාධිපතිවරණය‍ට ඉදිරිපත්වී සිටින අය අතරින් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා දක්ෂයි. අවංකයි. එඩිතරයි. එහෙත් අකීකරුයි. එතුමා අනුගමනය කරන දර්ශනය හොඳ දර්ශනයක් නොවේ. මමත් දක්ෂයි, අවංකයි, එඩිතරයි, ම‍ගේ පක්ෂයේ ප්‍රතිපත්ති රටේ ජනතාවට අතිශයින් හිතකරයි”

ජනාධිපතිවරයාගේ කතා වෙනුවෙන් කොල්වින් ආර්. ද සිල්වා අනුරාධපුරයේදි පිළිතුරු ලබාදුන්නේය.

“එවැනි සහතිකයක් ජනාධිපතිතුමා විසින් තමාට ලබාදී තිබියදීත් තමා ගැන තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බවත්, පොදු අපේක්ෂකයා විය යුත්තේ කවුරුන්ද යන්න පැහැදිලි” බවත් කොල්වින් කීවේය.

නමුත් මේ සියල්ල මැතිවරණ ආකර්ෂණ කතා පමණක් විය. අවසානයේ පොදු අපේක්ෂක, වමේ පොදු අපේක්ෂක ගැන තීරණය නොගැනිණි. එක් අවස්ථාවක හෙක්ටර් කොබ්බෑකඩුව මහතා කොල්වින් ආර්. ද සිල්වා මහතා සමඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබිණි. එහිදී කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා පක්ෂ තීරණයක් අනුව ජනාධිපතිවරණයට නාම‍ යෝජනා ඉදිරිපත් තීරණයක් ගත් බවය. කෙසේ වෙතත් පොදු අපේක්ෂකයා පිළිබඳ ස්ථිර තීරණය නාමයෝජනා භාර දීමෙන් පසුව වුව ගත හැකි බව ඒ මහතා ප්‍රකාශ කර තිබූ බව එකල පුවත්පත් වාර්තා පෙන්වා දෙයි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව බොරැල්ලේ උද්‍යාන මාවතේ පිහිටි පක්ෂයේ තාවකාලික කාර්යාලයේදී උප සභාපති කේ. ෂන්මුගලිංගම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී ජනාධිපති අපේක්ෂකයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ඉදිරිපත් කිරීමට තීරණය කළේය. එක අතකින් එය තවත් අර්බුදයක් කරළියට ඒමක් විය. ඒ ඒ වන විටත් පක්ෂයේ නියෝජ්‍ය සභාපති ධුරය දැරූ ටී.බී. ඉලංගරත්න මහතා නොසලකා හැර තිබීම නිසාය.

අවසානයේදී 1982 සැප්තැම්බර් 17 වැනිදා පැවැති නාමයෝජනා භාරදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව, එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර්. ජයවර්ධන, ලංකා සමසමාජ පක්ෂයෙන් කොල්වින් ආර්. ද සිල්වා, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයේ කුමාර් පොන්නම්බලම්, ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර, නව සමසමාජ පක්ෂයේ වාසුදේව නානායක්කාර යන අයගේ නාමයෝජනා මැතිවරණ කොමසාරිස්වරයා පිළිගන්නා ලදි.

මෙලෙස, නාමයෝජනා භාරදී‍ෙමන් පසුව වුව පොදු අපේක්ෂක භූමිකාව ක්‍රියාවට නොනැඟිණි. හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත්, කොල්වින් ආර්.ද සිල්වා මහතා සමසමාජ පක්ෂයෙනුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ආචාර්ය කොල්වින් මැතිවරණ වේදිකාවේදී කොබ්බෑකඩුව මහතාට එරෙහිව කියා සිටියේ ප්‍රජා අයිතිය තහනම් කළ තැනැත්තියක් සභාපති ධුරය දරන පක්ෂයකින් ජනාධිපතිවරයකු පත් කර ගත නොහැකි බවය. ඒ අනුව ශ්‍රීලනිප අපේක්ෂකයාට දෙන ඡන්දය අපතේ යන බවද ඔහු අවධාරණය කළේය. එහිදී ඡන්ද 2,548,438ක් ලබා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා දෙවැනි ස්ථානයට පත්වන විට කොල්වින් ආර්. ද සිල්ව‍ා මහතා පස් වැනි ස්ථානයට පත්විය. ඔහු ලබා සිටි ඡන්ද ප්‍රමාණය 58,531කි.

මලික් චමින්ද ධර්මවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here