18
හයෙන් පහක බලයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ඉන්පසු 1978දී සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව විධායක ජනාධිපතිවරයා විය. පසුව 1984දී ජනාධිපතිවරණය පැවැත්විය යුතු විය. එහෙත් උපායෙහි ශූර දේශපාලනඥයකු වූ ජයවර්ධන මහතා තමාට වඩා වාසිදායක අවස්ථාවේ ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළේය. ඒ 1982 වර්ෂයේය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද ගණනාවකට ඇද දමා තිබිණි. ප්‍රධාන විපක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබිණි. ප්‍රජා අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා ආණ්ඩු පක්ෂය වෙත එල්ල විය. මෙහිදී ආණ්ඩු පක්ෂයේ අරමුණු බණ්ඩාරනායක මහත්මිය පැහැදිලි කර සිටියේ මෙසේය.
“පුද්ගලික පළිගැනීමේ චේතනාවෙන් හා දේශපාලන අවස්ථාවාදයෙන් එළවනු ලැබූ, එසේම තෝරා බේරා ගත් දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රජා උරුමය නැති කිරීමට කුමන හෝ සුළු හේතු උපයෝගී කර ගන්නාවූ අතීතයට බලපාන අන්දමින් ගොතා ඇති විශේෂ ජනාධිපති කොමිෂන් නීතිය හුදු නීතිමය උප්පරවැට්ටියකි. ජන ජීවිතයේ උසස් චර්යාධර්මයන් වගා කිරීමේ වැදි බණක් මතුපිටින් ප්‍රදර්ශනය කර ඇති මේ නීතියේ නියම පරමාර්ථය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වාසි මුදුන්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සටන්කාමී නායකත්වය එහෙම පිටින්ම විනාශ කළ නොහැකි නම් අනියම් ලෙස කඩාකප්පල් කිරීමය. එසේ කිරීමට සමත් වුවහොත් පිල් මාරු කරන්නන්ගේ මුක්කු ගැසීම්වලින් මේ රජයට තවත් කාලයක් බලයේ සිටීම සහතික කර ගැනීමද මේ පිළිවෙතේ පරමාර්ථය වන්නේය.”
බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය ප්‍රශ්නය මත ඇයගේ නායකත්වයෙන් කටයුතු කිරීම පිළිබඳ පක්ෂයේ ගැටුම් රැසක් නිර්මාණය විය. පක්ෂය දෙකට බෙදුණු අතර පක්ෂයේ නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායක, පී.බී.ජී. කලුගල්ල, අනුර බණ්ඩාරනායක, ආර්.පී. විජේසිරි, හලීම් ඉෂාක්, සුමතිපාල ජයවර්ධන, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ඩික්සන් සිල්වා, මංගල මුණසිංහ, අලවි මවුලානා, බැසිල් රාජපක්ෂ, කුමාරි බාලසූරිය පක්ෂයෙන් ඉවත් කෙරිණි.
මේ අතර කොබ්බෑකඩුව මහතා කොළඹ රොස්මිඩ් නිෙවසේදී අනුර බණ්ඩාරනායක මහතා හමුවිය. එහිදී තමා සිරිමා බණ්ඩාරනායක නියෝජනය කරන පිලෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඒ සඳහා සහය ලබා දිය යුතු බවත් කොබ්බෑකඩුව මහතා කීවේය. එහෙත් අනුර බණ්ඩාරනායක මහතා ඒ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා නොදීය.
මෙහිදී අනුර බණ්ඩාරනායක මහතා නියෝජනය කළ පිරිස විසින් ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සේනානායක මහතා යෝජනා කර තිබිණි. එහෙත් සිරිමා බණ්ඩාරනායක මැතිනියට අයත් කණ්ඩායම හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව කියා තිබිණි. මේ අතර නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමක්ද යන්න පිළිබඳ තීරණය ලබාදීම මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කෙරිණි. එහිදී මැතිවරණ කොමසාරිස්වරයා නීත්‍යනුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිමා බණ්ඩාරනායක මහත්මිය නියෝජනය කරන පිරිසට අයත් බව පිළිගෙන තිබිණි. ඒ අනුව තමා වෙත සහාය දක්වන මෙන් කොබ්බෑකඩුව මහතා මෙන්ම රත්නසිරි වික්‍රමනායක මහතාද සේනානායක මහතාගෙන් ඉල්ලා සිටියහ. පසුව මෛත්‍රීපාල සේනානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකිරීමටත්, බණ්ඩාරනායක මහත්මියගේ කණ්ඩායමට සහය දැක්වීමටත් තීරණය කරන ලදි. කෙසේ වෙතත් මේ අර්බුදය අළු යට සැඟවුණු ගිනි මෙන් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අවුල් සමඟින් වුව මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගියේය. ඊට නොදෙවැනි ලෙස ජේ. ආර්. ජයවර්ධන මහතා ද තම මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන ගියේය. එහිදී ඔහු බොහෝ විට රැස්වීම්වලට සහභාගි වූයේ හෙලිකොප්ටරයෙන් ගොසිනි. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සමාජයේ පැතිර ගිය අතර ජනාධිපතිවරයා කියා සිටියේ තම පෞද්ගලික වියදමින් හෙලිකොප්ටර් යොදා ගෙන ඇති බවත්, ඒවාට අවශ්‍ය ගෙවීම් සියල්ල කර ඇති බවත්ය. ඒ සමඟම එවක රටේ තිබූ සියලු ජනමාධ්‍ය ජයවර්ධන මහතාට සහය දැක්විය. රජයේ ගුවන්විදුලිය, ලේක්හවුස් ආයතනය, රූපවාහිනිය සහ ටයිම්ස් පුවත්පත් මෙහිදී කැපී පෙනෙන ලෙස ජයවර්ධන මහතාගේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වී තිබිණි.
මේ නිසා විපක්ෂයට තිබුණේ සීමිත අවස්ථාවකි. විශේෂයෙන්ම හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට සහය ලබා ගත හැකි වූයේ ඇත්ත සහ දිනකර පුවත්පත්වලිනි.
අනෙක් අතට සෙසු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ව ද ඔවුන්ගේ අපේක්ෂකත්වය වලංගු ද යන්න පිළිබඳ ප්‍රශ්න කළේය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කියා සිටියේ පක්ෂ සභාපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇති මොහොතක පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂත්වය ගැටලුසහගත බවයි.
මේ සියලු බාධක මධ්‍යයේ වුව හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යමින් තිබිණි. එහිදි රටපුරා ඇලවුණු පෝස්ටර්වල කොබ්බෑකඩුව මහතා රට වෙනුවෙන් කරන ලද සේවාව මතුවී පෙනෙන ලෙස සටහන් වී තිබිණි.
“දුක් විඳින ගොවි ජනතාවගේ පොදු අපේක්ෂකයා – කොබ්බෑකඩුව”
“පොදු ජන යුගයේ අපේක්ෂාව – අනාගත ජනාධිපති කොබ්බෑකඩුව”
“ජාතියේ රන් කරඬුව”
“ඒකාධිපති වියරුවෙන් රට බේරා ගැනීම සඳහා කොබ්බෑකඩුව දිනවමු”
විශේෂයෙන් 1972 ජනරජ ව්‍යවස්ථාව යළි ගෙනඒම, හාල් පොත යළි ලබා දීම, 80 ජූලි වැඩ වර්ජකයන්ට යළි රැකියා ලබා දීම වැනි කාරණා ඔහුගේ ජනාධිපති ප්‍රචාරණ යන්ත්‍රණයේ දැකගත හැකි විය.
ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී අනුර බණ්ඩාරනායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් කොබ්බෑකඩුව මහතාට විශාල බලපෑමක් කරන ලදි. එහිදී ඔහු කියා සිටියේ කොබ්බෑකඩුව මහතා මේ කරමින් සිටින්නේ “කොන්ත්‍රාත් එකක්” බවය. මේ අනුව කොබ්බෑකඩුව මහතා ජනාධිපති වූ පසු මැතිනියට ප්‍රජා අයිතිය ලබාදී ඇය ජනාධිපති කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇති බව කියවිණි.
අනුර බණ්ඩාරනායකගේ මේ කතාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මැනවින් සිය ප්‍රචාරක යන්ත්‍රණයට යොදා ගත්තේය. පූර්ව මැතිවරණ ප්‍රචාරක අවදියේ දිනක ජයවර්ධන ජනාධිපතිවරයා තම ප්‍රවෘත්ති ලේකම්වරයා කැඳවීය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ යම්කිසි රැස්වීමකදී අනුර බණ්ඩාරනායක මහතා “කොබ්බෑකඩුව කරන්නේ කොන්ත්‍රාත් එකක්” බව කියනු ඇති බවත්, ඒ සඳහා ජනමාධ්‍යවල පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් දැන්වීය. එමෙන්ම එය, එම අවස්ථාවේම තමන්ට දන්වන ලෙසත් දැන්වීය.
අදාළ ප්‍රකාශය අනුර බණ්ඩාරනායක මහතා කළ බව ප්‍රවෘත්ති ලේකම්වරයා වෙත ලැබෙන විට ජනාධිපතිවරයා සිටියේ වයඹ පළාතේ ගලිගමුවේ රැස්වීමක් අමතමිනි. ඒ නිසා ජනාධිපතිවරයාගේ කතාව අවසන් වනතෙක් සිට ලේකම්වරයා අදාළ කාරණය පිළිබඳ ජයවර්ධන මහතා දැනුම්වත් කිරීමට කටයුතු කළේය. ඊළඟ රැස්වීම පැවැත්වූ පොල්ගහවෙල වේදිකාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලදි.
“කොබ්බෑකඩුව මහතාට දී ඇත්තේ සිරිමාවෝ බණඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය යළි ලබාදීමේ කොන්ත්‍රාත්තුව පමණකැයි අනුර බණ්ඩාරනායක මහතා කියනවා. ඒකෙ තේරුම ඔහු කොන්ත්‍රාත්කාරයකු බවයි. කොබ්බෑකඩුව මහතා හරියට පාරවල් නඩත්තු කරන ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත්කාරයෙක් වගෙයි. ජනාධිපති පදවිය කොන්ත්‍රාත් එකක් නොවෙයි. ඒක රටේ ලොකුම විධායක තනතුරයි. ජනතාවටත්, රටටත් සේවය කිරීමට පත්කරගන්නා පුද්ගලයකුගේ කාර්යය කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම නොවෙයි.”
මෙතැන් පටන් ජයවර්ධන මහතාගේ සෑම කතාවකටම මේ කොන්ත්‍රාත් කතාව කියැවිණි. ගුවන්විදුලිය, රූපවාහිනිය ඇතුළු සියලු මාධ්‍ය මේ සඳහා විශාල ප්‍රචාරයක් ලබා දුණි. එපමණක් ම නොව රැස්වීම්වලදී කතිකයන් කොබ්බෑකඩුව මහතාගේ නම සඳහන් කරන විට “කොන්ත්‍රාත්කාරයා” යනුවෙන් කෑගැසීමට පිරිස් යෙදවීමට ද සංවිධායකයෝ කටයුතු කළහ.
මෙසේ ක්‍රියාත්මක වූ කොබ්බෑකඩුව මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අනුර බණ්ඩාරනායකගෙන් කිසිදු උදව්වක් ලැබුණේ නැත. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ සියලු බර කරට ගෙන වැඩ කළේ ශ්‍රීලනිප උප ලේකම් ධුරය දැරූ විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග වැනි පිරිසකි.
මැතිවරණ පරාජයත් සමඟම අවස්ථා ගණනකදී ජේ.ආර්. ජයවර්ධන රජය විසින් මෙතුමන්ට විවිධ අභූත චෝදනා එල්ල කරමින් ප්‍රශ්න කිරීම් සිදු කිරීම නිසා මෙතුමා බලවත් චිත්ත පීඩාවට පත් වී තිබිණි. ඒ හේතුවෙන් විවිධ රෝගාබාධවලට ලක් වූ මෙම අසහාය නායකයා 1983 සැප්තැම්බර් මස 18 වැනි දින සදහටම දෙනෙත් පියා ගත්තේය.
කොන්ත්‍රාත්කාරයා යන්න කොබ්බෑකඩුව මහතාට ඉතා වේදනාකාරී අත්දැකීමක් වූ බව ඔහුගේ මරණයෙන් පසුව බිරිඳ විසින් කරන ලද ප්‍රකාශයකින් පෙනී යයි.
“මේ අවාසනාවන්ත කොන්ත්‍රාත් කතාවෙන් මගේ සැමියා දැඩිසේ සිත් වේදනාවට හා කම්පාවට පත්ව සිටියේය. මෙය තමන්ගේම පක්ෂයේ අය විසින් කරන ලද්දක් නිසා ඔහු දැඩි මානසික පීඩනයකට ලක්ව සිටියේය.”
මලික් චමින්ද ධර්මවර්ධන