Home Politics News Room : මන්ත්‍රීවරු නොවී දේශපාලනයෙන් ඉහළටම ආ චරිත

News Room : මන්ත්‍රීවරු නොවී දේශපාලනයෙන් ඉහළටම ආ චරිත

1
0

අපේ රටේ ජාතික දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා මන්ත්‍රීවරයකු වී සිටීම සුදුසු නොවන මඟ පසක් කළේ පසුගිය 2019 ජනාධිපතිවරණයයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා බවට පත් වූයේ අපේ රටේ තිබූ සියලු සාම්ප්‍රදායික ක්‍රියාදාමයන් සුනු විසුනුකොට බව පැහැදිලිය.

අපේ රටේ දේශපාලනය ගැන කතා කිරීමේදී සෑම දේශපාලනඥයකුම දේශපාලනයට පැමිණ ඇත්තේ සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟය. විශේෂයෙන් විධායක කාරක සභා ආරම්භවීමත් එහි සභිකයන් සේම කාරක සභා සභාපතිවරුන් බවට පත් අපේ රටේ ජීවත්වූ දේශීය නායකයන් එක්ව ඇත. එහිදී සෞඛ්‍ය, අධ්‍යාපන, පළාත් පාලන ආදී කාරක සභාවල තනතුරුවලින් ජනතාවට සමීපවීමට ඔවුන්ට ඉඩහසර සැලසුණි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, සර් ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක ආදී වශයෙන් පසුව ජාතික දේශපාලනයේ ප්‍රතාපවත් චරිත බිහිවූයේ විධායක කාරක සභාවෙන්ම පසුව බිහිවූ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙනි.

ජනතා ඡන්දයෙන් පත්වීමට ඔවුනට අවශ්‍ය පසුබිම මේ අයුරින් ගොඩනැඟී තිබුණේ ව්‍යවස්ථාදායක සභාවලින් ඔවුන් ලබාගත් ජනතා ආකර්ෂණයෙනි. එසේම ඔවුන් සතුව පැවැති සමාජ පසුබිම ද ඊට තදින් බලපෑවේය. විශේෂයෙන් වතුපිටි හිමියන්, පතල් හිමියන්, රේන්දකරුවන් ජාතික දේශපාලනයේ මේ අයුරින් ප්‍රබල චරිත බවට පත් විය.

අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරමින් සිටි මෙරට වාමාංශික ව්‍යාපාරයේ නායකයන් වූ ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, එඩ්මන් සමරක්කොඩි ආදී කොටගත් නායකයන් මැලේරියා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සතර කෝරළය, සත් කෝරළය ආදී කොටගත් ප්‍රදේශවල දිළිඳු ජනයාගේ දුකට පිහිට වෙමින් සූරියමල් ව්‍යාපාරය හරහා ජනතා ආකර්ෂණය දිනාගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බවට පත් විය.

ලංකාවේ ප්‍රථම අගමැතිවරයා බවට පත් වූ ඩී. එස්. සේනානායක මහතා ජාතික සංගමයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් වූයේ මීරිගම මෙන්ම මීගමුව යන ආසනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙනි. ලංකාවේ දෙවැනි අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මහතා මීරිගම ආසනය මෙන්ම පසුව දැදිගම ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරයා විය. ලංකාවේ තෙවැනි අගමැතිවරයා වූ සර් ජෝන් කොතලාවල මහතා කුරුණෑගල ආසනය ද පසුව දොඩන්ගස්ලන්ද ආසනය නියෝජනය කළ මහජන මන්ත්‍රීවරයා බවට පත් විය.

ලංකාවේ හතරවැනි අගමැතිවරයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා වේයන්ගොඩ ආසනය ද පසුව අත්තනගල්ල ආසනය ද නියෝජනය කළ මහජන නියෝජිතවරයා බවට පත් වූ බව පැහැදිලිය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිවරිය වූවා සේම එවකට රටේ පැවැති සෙනෙට් සභාවෙන් එහි සාමාජිකාවක් වශයෙන් නම්කොට ජාතික දේශපාලනයට පැමිණ මෙරට අග්‍රාමාත්‍යවරිය බවට පත් වූවාය. දීර්ඝ කාලයක් තිස්සේ සිටි මහජන මන්ත්‍රීවරයකු ලෙස සිට දේශපාලන පක්ෂයක නායකත්වයක් රැගෙන රටේ නායකයා වීමේ සම්ප්‍රදාය බිඳීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමත් වූවාය. පසුව ඇය අත්තනගල්ල ආසනයේ මහජන මන්ත්‍රීවරිය වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළාය.

1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මේ සියලු දේවල් උඩු යටිකුරු කළේය. නිතරම විපක්ෂය හීන දීන දුර්වලකොට සිය බලය රැකගැනීමට නිරන්තරයෙන්ම ක්‍රියා කළේය. විශේෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම එහි මූලික පියවර බවට පත් විය. 1982 පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා එජාපයෙන් ඉදිරිපත් වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා, නව ලංකා සමසමාජ පක්ෂයෙන් ඉදිරිපත් වූ වාසුදේව නානායක්කාර මහතා හැර ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වූ රෝහණ විජේවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වශයෙන් ක්‍රියා කළාට ඔහු කිසිම දිනෙක මිය යනතුරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවූ මෙරට ජාතික දේශපාලනය කළ දේශපාලන නායකයෙකි.

1977 ඇරඹි එජාප ආණ්ඩුවේ දරදඬු දේශපාලනයට එරෙහිව නැඟී සිටි දේශපාලනඥයින් අතර ජනප්‍රිය නළුවකු මෙන්ම මානව හිතවාදියකු වූ විජය කුමාරතුංගයන් ද එදා ඒ ආකර්ෂණීය ජාතික දේශපාලනයේ නායකයකු බවට පත් විය. ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා වශයෙනි. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට විජය කුමාරතුංග මහතා ප්‍රබල අභියෝගයක් විය. විජය කුමාරතුංග මහතා ජාතික දේශපාලන නායකත්වයට පැමිණීමට තිබූ සාම්ප්‍රදායික දේශපාලනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මහජන ඡන්දයෙන් පත්වීමට තිබූ ඉඩකඩ ඉතාමත් කොල්ලකාරී අයුරින් දැඩි ප්‍රචණ්ඩත්වයෙන් මෙල්ල කළේය. ඊට කදිම නිදසුන් ලෙස මහර අතුරු මැතිවරණය සහ මින්නේරිය අතුරු මැතිවරණය සාක්ෂි දරනු ලබයි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිවරිය බවට පත් වූවාය. එසේ මහ ඇමැතිවරිය වශයෙන් සිටියදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළාය. එතුමිය ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක්ව සිට ජනාධිපතිවරියක් වූ කාන්තාවකි.

අපේ රටේ ජාතික දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා මන්ත්‍රීවරයකු වී සිටීම සුදුසු නොවන මඟ පසක් කළේ පසුගිය 2019 ජනාධිපතිවරණයයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා බවට පත් වූයේ අපේ රටේ තිබූ සියලු සාම්ප්‍රදායික ක්‍රියාදාමයන් සුනු විසුනුකොට බව පැහැදිලිය. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉටුකළ ජාතික මෙහෙවර මේ සියල්ල අබිබවා රටේ නායකයා බවට පත්වීමට ඉඩහසර සලසා දුන්නේය.

මහින්ද ආරියවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here